Thursday, December 1, 2011

මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක්‌

ශ්‍රී ලංකාවටම ඉන්නේ 50 දෙනකු පමණයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සෑම පනස්‌දහසකටම මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් අවම වශයෙන් එක්‌ අයෙකුවත් සිටිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතත් මෙරට ජනගහණයෙන් සෑම හාරලක්‍ෂයකටම සිටිනුයේ එක්‌ මානසික රෝග විශේෂඥවරයකු වැනි අඩු සංඛ්‍යාවක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අනුව රටේ මිලියන 20 ක ජනගහණයටම ප්‍රතිකාර සඳහා සිටිනුයේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනකු පමණකැයි පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා මෙම සංඛ්‍යාව මානසික සෞඛ්‍ය සේවාව උසස්‌ මට්‌ටමකින් පවත්වාගෙන යැමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසයි.

මෙම තත්ත්වය මත මෙරට මානසික සෞඛ්‍ය සේවාවේ ප්‍රමාණාත්මකභාවය සම්බන්ධ ගැටලු පැන නැගී ඇති අතර දිනකට වාර්තා වන සිය දිවි නසාගැනීම්, කාන්තා හා ළමා අතවර, මත්ද්‍රව්‍ය ඇබ්බැයි හා වෙනත්දාමරික ක්‍රියාකාරකම් සලකා බැලීමේදී ඒ බව සනාථ වන බව ඔහු සඳහන් කළේය.

මෙසේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක්‌ පැවැතියද මෙරට ක්‍රියාත්මක වන මානසික සෞඛ්‍ය ඩිප්ලෝමාව පුද්ගලික හේතූන් මත නවතාලීමට කිහිපදෙනකු විසින් උත්සාහ දරන බවත් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතන පවා වසරකට බිහිකරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මේවන විට දැඩිසේ කප්පාදු කර ඇති බව වෛද්‍ය ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ පමණක්‌ නොව පෞද්ගලික රෝහල්වල පවතින දිගු පෝලිම් මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි සපයන බව පැවසූ හෙතෙම මෙවැනි වාතාවරණයක්‌ තුළ මෙරට බිහි කරන මානසික රෝග විශේෂඥයන් ප්‍රමාණය කප්පාදු කිරීමේ පිළිවෙත නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද අවධාරණය කළේය.

ඊයේ (30 වැනිදා) කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

Divaina 2011/12/01

No comments:

Post a Comment