Saturday, December 17, 2011

වෛද්‍යවරු පැහැරගෙන කප්පම් ගත් හතේ කල්ලිය දැලේ

රටපුරා විවිධ ප්‍රදේශවල වෛද්‍යවරුන් පැහැරගෙන කප්පම් ගන්නා හත් දෙනෙකුගෙන් යුත් කල්ලියක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් හතරවැනිදා කොල්ලුපිටියේ වෛද්‍යවරයකු පැහැරගෙන ගොස් ලක්ෂ අසූවක කප්පම් ගැනීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයට මේ කල්ලිය කොටුකර ගැනීමට හැකිවිය.
ඒ සමඟම ඔවුන් මෙතෙක් කාලයක් වෛද්‍යවරුන් පැහැරගෙන ගොස් කප්පම් ගත් සිද්ධීන් ගණනාවක තොරතුරුද හෙළිකර ගැනීමට හැකි වී තිබේ.
පොලීසියේ නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසුණු මේ කණ්ඩායම වැටලීම් කරන විශේෂ පොලිස් කණ්ඩායමක් ලෙස හැසිරී තිබේ. එම හත් දෙනාගේ කල්ලියට පොලිස් කතකගේ වෙස්ගත් කාන්තාවක්ද ඇතුළත් වෙයි.
පසුගිය දා (10) කොල්ලුපිටියේ වෛද්‍යවරයකු ගේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට පැමිණි මේ කණ්ඩායම එම වෛද්‍යවරයා නීති විරෝධී ලෙස ගබ්සා කරන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉහළින් නියෝග ලැබී ඇති බවත් පවසා තිබේ. පසව ඔහු අත්අඩංගුවට ගෙන අඹේපුස්ස ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් සිරකර තබා ඇත. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා ලක්ෂ අසූවක මුදලක් ඉල්ලා තිබේ.
වෛද්‍යවරයා මුදල් නැති බව පවසා ලක්ෂ විසිපහක් ලබා දීමට පොරොන්දු වී ඇත. ඔහු ඒ අනුව නිවෙසට දුරකතන ඇමතුමක් දී ලක්ෂ විසිපහක මුදලක් ගෙන එන ලෙස ඔහුගේ බිරියට දැනුම් දී ඇත. එහෙත් මොවුන් ගැන සැක සිතූ ඔහුගේ බිරිය මුදල් ලබා දීම ප්‍රමාද කර තිබේ.
ඒ අතර වෛද්‍යවරයා කුරුණෑගල පිහිටි ඔහුගේ තවත් බෙහෙත් ශාලාවකට කතා කොට ලක්ෂ විසිපහක් ගෙන්වා ගෙන මේ කල්ලියට ලබා දී ඇත. අනතුරුව ඔවුන් වෛද්‍යවරයා නිදහස් කර තිබේ.
පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මේ ව්‍යාජ පොලිස් කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
මොවුන් මේ වනවිට වෛද්‍යවරුන් හත් දෙනෙක් පමණ මෙලෙස පැහැරගෙන ගොස් මුදල් ලබා ගෙන තිබේ. ඊට අමතරව පොලිස් වෙසින් තවත් මුදල් වංචාවන් රැසක්ද සිදුකර ඇත. මොවුන් මේ වන විට කෝටි දෙකකට වැඩි මුදලක් මෙසේ පැහැර ගෙන තිබේ.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට පොලිස් පරීක්ෂක වරුන්වන ජනක කුලරත්න, සරත් සැරයන් වරුන් වන ජයලාල් ජයනෙත්ති, මර්වින්, රොෂාන් කාන්තා පොලිස් සැරයන් ඉන්ද්‍රාණි පොලිස් කොස්තාපල් වරුන් වන වික්‍රමසිංහ ධර්මාලෝක, ඇතුළු කණ්ඩායමක් වැටලීම් වලට සහභාගී වූහ. සැක කරුවන්ගෙන් තව දුරටත් ප්‍රශ්න කර ගෙන යයි.
.dinamina.lk/2011/12/15

No comments:

Post a Comment