Thursday, December 8, 2011

මාලබේ ප්‍රමිතිය ගැන කමිටු වාර්තාව ඉදිරි සති දෙක තුළ ලබා දෙන්න

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඉල්ලයි

ඒමන්ති මාරඹේ
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති කමිටුවේ වාර්තාව ඉදිරි සති දෙක ඇතුළතදී තම සංගමය වෙත ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම කමිටුව වෙත දැනුම් දී තිබේ.
අදාළ කමිටු වාර්තාව අධ්‍යයනය කර බලා සිය ඉදිරි පියවර තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා ඊයේ (6 දා) පැවසීය.
රජරට වෛද්‍ය පීඨය ඇතුළු රජයේ විශ්වවිද්‍යාලවල පවතින ගැටලුවක්‌ විසඳාගත නොහැකිව සිටින බලධාරීන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිත්‍යනුකූල බව පවසමින් ඒ හරහා වෛද්‍ය උපාධි පිරිනැමීම පිළිබඳව ප්‍රකාශ කිරීම විහිළුවක්‌ බව ද වෛද්‍ය ගුණසේකර කීවේය. එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුළු රටටම කළු පැල්ලමක්‌ ඇති කළ ආයතනයක්‌ බව හෙතෙම සඳහන් කළේය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා උපාධි පිරිනැමීමට තැත් කරන බලධාරීන් කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් පවත්වන මානසික රෝග පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නතර කිරීමට උත්සාහ දරන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම්වරයා එම ඩිප්ලෝමා පාඨමාලාව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෙරේදා (5 දා) පැවැති සාකච්ඡාවේදී යෝජනා වූ විට තම සංගමය එයට විරෝධය පළ කළ බව ද අවධාරණය කළේය.

"
මානසික රෝග විශේෂඥයන්ගේ උග්‍ර හිඟයක්‌ රට තුළ පවතින අවස්‌ථාවකදී මෙසේ අදාළ ඩිප්ලෝමා පාඨමාලාව කප්පාදු කිරීමට තැත් කිරීම පිළිගත නොහැක්‌කක්‌. සත්‍ය වශයෙන්ම පිළිකා රෝගීන්ගේ රෝග තත්ත්වය නිසා ඇති වන මානසික පීඩනය අවම කිරීම සඳහා මහරගම පිළිකා රෝහලට ද මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු සිටිය යුතුයි. එහෙත් එවැනි විශේෂඥ වෛද්‍යවරුන් වැඩි පිරිසක්‌ බිහිකළ යුතු අවස්‌ථාවක මානසික රෝග පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නතර කිරීමට යැම කනගාටුවට කරුණක්‌" යෑයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (6 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් වෛද්‍ය ගුණසේකර මෙම කරුණු පැවසීය.

දිවයින 2011 දෙසැම්බර් මස 7 වැනිදා

No comments:

Post a Comment