Thursday, December 8, 2011

කාත්තන්කුඩි දොස්‌තරට මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ යුවළ දැලේ

හේමන්ත රන්දුණු
මඩකලපුව කාත්තන්කුඩි ආරියම්පත්තු ප්‍රදේශයේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් ලක්‍ෂ 5 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට උත්සාහ කළ තරුණ යුවළක්‌ කාත්තන්කුඩිය පොලිසිය මගින් පෙරේදා (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර යුවළ අදාළ කප්පම් මුදලින් රුපියල් ලක්‍ෂයක්‌ වෛද්‍යවරයාගෙන් ලබාගෙන පලා යද්දී මග රැක සිටි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාව අවුරුදු 35 ක තැනැත්තියක වන අතර තරුණයා 24 හැවිරිදි අයෙකි. මොවුන් කොටි සංවිධානයට සම්බන්ධ බවට පොලිසිය සැකකරයි.
මෙම යුවළ දින කීපයක්‌ තිස්‌සේ වෛද්‍යවරයාට දුරකථනයෙන් කථා කර රුපියල් ලක්‍ෂ 5 ක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇති අතර එසේ ලබා නොදුන හොත් මරා දමන බවට කියමින් තර්ජනය කර ඇත.
වෛද්‍යවරයා මේ පිළිබඳව කාත්තන්කුඩි පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. අමරසිංහ මහතාට පැමිණිල්ලක්‌ කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සැකකරුවන් වෛද්‍යවරයා හමුවී මුදල් ලබාගෙන පලා යද්දී අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම කප්පම්කරුවන් අධිකරණය වෙත ඊයේ (7 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මඩකලපුව නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

Lakbima 2011.12.08

No comments:

Post a Comment