Friday, December 23, 2011

2012 දී ඖෂධ මිලට ගන්නට රුපියල් මිලියන 21,000ක්

සිතාරා සේනානි
දෙදහස් දොළහ වසර සඳහා ඖෂධ මිලදී ගැනීමට රුපියල් දස ලක්ෂ විසිඑක් දහසක මුදලක් වැය කිරීමට රජය මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රෝහල්වලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිිරීමටත්, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ මිලදී ගැනීමටත් වැඩපිළිවෙළ රැසක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පවසයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට අසූවක් ඉන්දියානු ඖෂධ සමාගම්වලින්ද තවත් සියයට විස්සක් සෙසු රටවලින්ද මිලදී ගත්තද මේවායේ ගුණාත්මකභාවයේ අඩුපාඩු පිළිබඳ විටින් විට වාර්තා ලැබීම නිසා ඉන්දියානු රජය සමඟ ඍජුව සාකච්ඡා පවත්වා එරට රජයේ මැදිහත්වීම මත රජයකින් තවත් රජයක් වෙත ඖෂධ ලබා ගන්නා ආකාරයෙන් ඖෂධ මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ අනුව තීරණය කැර තිබේ.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය අනුකාරක සභාවක් පත් කැර ඇත. සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම හා පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් මේ අමාත්‍ය අනුකාරක සභාවට පත් කොට ඇත. එසේම මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය නිර්ණය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමේ පනත ඇතුළුව ඖෂධ සම්බන්ධ ප්‍රධාන පනත් තුනක් ලබන වසරේ මුල් කාර්තුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කැර ඇත.
රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබන වසරේ කිසිඳු හිඟයකින් තොරව ලබා දීමටත් ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාගැනීම සඳහාත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ජපාන අන්තර්ජාතික ඒජන්සියේ මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාව මත මේවන විට ක්‍රියාත්මක කැර ඇත. දේශීය වශයෙන් නිපදවන ඖෂධවල ධාරිතාව වැඩි කිරීමේ මේ වැඩපළිවෙළ රාජ්‍ය ඖෂධ ඬෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග තුන්දහසකින් සියයක්වත් දේශීයව නිපදවීමට සංස්ථාව මෙතෙක් සමත්වී නොතිබිණි. එහි මෙතෙක් නිපදවූයේ ඖෂධ වර්ග 52ක් පමණි.
dinamina 2011.12.24

No comments:

Post a Comment