Thursday, December 8, 2011

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ ධුරයේ රඳවා ගැනීමට වෛද්‍ය සංගම් එක්‌වෙති

ඒමන්ති මාරඹේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මිය සිය ධුර කාලය අවසන් වනතෙක්‌ එනම් තව වසර දෙකහමාරක කාලසීමාවක්‌ සභාපති ධුරයේ රැඳී සිටිය යුතු බවට දැඩි හඬක්‌ නැගීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලුම වෛද්‍ය සංගම් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් 40 ක (කොලේජ්ස්‌) පමණ නියෝජිතයන් පෙරේදා (05 දා) ඒකමතිකව තීරණය කර තිබේ.
මේ අනුව අදාළ සියලු වෛද්‍ය සංගම්වල නියෝජිතයන්ගේ අත්සන් සහිතව පොදු එකඟතාවකට පෙරේදා (5 දා) එළැඹ ඇති අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධව පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ ඉල්ලීමට ද පෙරේදා (5 දා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශාලාවේ පැවැති නියෝජිත හමුවකදී තීරණය වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙරට ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් හා වෛද්‍ය සත්කාර සේවාවන්හි ප්‍රමිතිය ආරක්‍ෂා කිරීම සඳහා තවදුරටත් ස්‌වාධීන ආයතනයක්‌ ලෙස පැවැතිය යුතු බවට මෙම හමුවට සහභාගි වූ නියෝජිතයන් පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙහිදී ඇති කරගත් එකඟතාව පිළිබඳව ජනාධිපතිවරයාට දන්වා යෑවීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද සංගමය කියයි.

දිවයින 2011 දෙසැම්බර් මස 7 වැනිදා

No comments:

Post a Comment