Thursday, December 1, 2011

රටට අවශ්‍ය තරම් වෛද්‍යවරු සිටින බව ඇතැම් අය කීවත් මා එය පිළිගන්නේ නැහැ

සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන්ට
පත්වීම් ලිපි ලබා දෙමින් ඇමැති මෛත්‍රිපාල සිරිසේන කියයි

රටට අවශ්‍ය තරම් වෛද්‍යවරු සිටින බව ඇතැම් දෙනා ප්‍රකාශ කළත් තමා එය පිළිනොගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් 822 දෙනකුට පත්වීම් ලබාදීම නිමිත්තෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදීය.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය-

ශ්‍රී ලංකා ජන සමාජයේ ගරු කරන, සමාජය පිළිගන්න සමාජයට නායකත්වයක්‌ දෙන, වෘත්තියක්‌ වශයෙන් වෛද්‍ය වෘත්තිය සැලකිය හැකියි. ඒ සමාජ පිළිගැනීම හා සමාජ ගෞරවය වෛද්‍යවරයා විසින් ශක්‌තිමත් කරගත යුතුයි. අපේ රටේ විශ්ව විද්‍යාලවලින් පිටවුණ වෛද්‍යවරු අතිවිශාල පිරිසක්‌ ලෝකයේ විවිධ රටවල සේවය කරනවා. අපට තිබෙන තොරතුරු අනුව මේ වනවිට 90,00ක්‌ පමණ වන ශ්‍රී ලාංකික වෛද්‍යවරු විදේශ රටවලට ගොස්‌ එක්‌කෝ අධ්‍යාපනය හදාරන අතර, විශාල පිරිසක්‌ එම රටවල රෝහල්වල වෛද්‍ය වෘත්තියේ නියෑළෙති. අප රටේ තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්‌ වන්නේ ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු සංඛ්‍යාවක්‌ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ නොමැතිවීමයි. සමහරු අපට අවශ්‍ය තරම් වෛද්‍යවරු සිටින බවට ප්‍රකාශ කළත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම එය පිළිගන්නේ නැහැ. කොළඹ සිට ලංකාවේ සතර දිග්බාගයම ගත්තාම රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්‌ථානවල වෛද්‍යවරුන් සඳහා තිබෙන පුරප්පාඩු ඉල්ලුම ඉතා විශාලයි. තවත් පැත්තකින් ගත් විට අපේ රටේ වැඩි පිරිසක්‌ සේවය කිරීමට කැමැති බස්‌නාහිර, මධ්‍යම වැනි සංවර්ධනය වූ පළාත් වලයි.

අපේ රට සංවර්ධනයේදී අපට තිබෙන ප්‍රධානම ගැටලුවක්‌ වන්නේ බොහෝ විට රාජ්‍ය නිලධාරීන් පහසුකම් සහිත ප්‍රදේශවල රැඳී සිටීමට දරන උත්සාහයයි. උතුරු නැගෙනහිර වැනි ප්‍රදේශවලට සේවය සඳහා යැමට තිබෙන අකමැත්තයි. මේ තත්ත්වය උතුරු නැගෙනහිර පමණක්‌ නොව උතුරු මැද, ඌව, දකුණු පළාතේ මාතරින් එහා ප්‍රදේශ ගත්තත් තත්ත්වය ඉතාමත් උග්‍රයි. වගකීම් ඉක්‌මවා ගිය යුතුකම් පිළිබඳව වෘත්තිකයන් මීට වඩා දැනුවත් විය යුතු බව මගේ අදහසයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෙනම පාලනයක්‌ සඳහා ත්‍රස්‌තවාදීන් සටන් කළ බව අපි කවුරුත් දන්නා කාරණයක්‌. ඔවුන් සටන් කළේ වෙනම රාජ්‍යයක්‌ හදන්න. ඒ සටන් කරපු අයගෙන් ඉතිරි අය ඒ ප්‍රදේශවල ජනතාවට ලැබිය යුතු සහන, අයිතිවාසිකම්, වරප්‍රසාද, ලැබෙන්නේ නැති බවටත් තම ප්‍රදේශ සංවර්ධනය සඳහා අවශ්‍ය සම්පත් නැති බවටත් අන්තර්ජාතික වශයෙන් මත ප්‍රකාශ කරන්නේ එම නිසයි. ඒ සටන් කරපු අයගෙන් මුහුදෙන් එගොඩ ඉතිරිවෙලා ඉන්න අය කරන එවැනි ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිවන බව කිවයුතු නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන් සංවර්ධනයේදී උතුරු නැගෙනහිරට ප්‍රමුඛත්වයක්‌ ලබාදීම අපගේ යුතුකමකි. එසේ නොවුණ හොත් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක්‌ බිහි කිරීමට උත්සාහ දරපු අය නැවත, අපට අවශ්‍ය වෛද්‍යවරයෙක්‌, ඉංජි නේරුවරයෙක්‌, ගුරු වරයෙක්‌ නැතිනම් අපි කොහොමද අපේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ යන මතය නැවත ප්‍රකාශ කිරීමට හැකියි. එම වගකීම ඉක්‌මවා ගිය යුතුකම පිළිබඳව වැඩි අවධානයක්‌ යොමුකළ යුතු බව මගේ අදහසයි.

උතුරු නැගෙනහිර රෝහල්වලට ගිය විට එම රෝහල්වල වෛද්‍යවරු, අධ්‍යක්‍ෂවරු වගේම මහජන නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ අපට වැඩිපුර වෛද්‍යවරුන් හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්‌ඩල අවශ්‍ය බවයි. මම වරක්‌ ප්‍රකාශ කළා එහෙම නම් උතුරේ විශ්වවිද්‍යාලවලට එන වෛද්‍ය ශිෂ්‍යයෝ එතනින් පිටවුණාම වෛද්‍යවරු විදිහට ප්‍රථමයෙන්ම තමන්ගේ ඥතීන් මෙන්ම තමන් ජීවත් වූ ප්‍රදේශය වන උතුරු ප්‍රදේශය තෝරාගත යුතුයි කියලා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අප මුහුණ දෙන ගැටලුව වන්නේ ඒ පළාත්වල ඉපදී ඒ පළාත්වලම ඉගෙනගෙන වෘත්තිකයන් විදිහට එන බොහෝ දෙනෙක්‌ තමන් උපන් ප්‍රදේශයේ සේවය කිරීමට තිබෙන අකමැත්ත ඔවුනුත් බොහෝ විට ඉල්ලා සිටින්නේ බස්‌නාහිර හෝ මධ්‍යම වැනි ප්‍රදේශයක සේවය සඳහා යොදවන ලෙසයි.

ඔබ දන්නවා කීර්තිමත් වෛද්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන. එතුමා අපේ රටේ පමණක්‌ නොවෙයි අන්තර්ජාතික වශයෙන් පවා පිළිගැනීමක්‌ කීර්තියක්‌ ලබාගත්ත වෛද්‍යවරයෙක්‌. එතුමා ජීවත්ව සිටි කාලයේ කළ ප්‍රකාශයක්‌ පිළිබඳව වර්තමානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලි සිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මාධ්‍යයට ප්‍රකාශයක්‌ කර තිබුණා. ඒ තමයි තාත්තා නිතර කිව්වේ "නරක දොස්‌තර කෙනෙක්‌ වෙනවාට වඩා හොඳ කොන්දොස්‌තර කෙනෙක්‌ වීම හොඳයි" කියලා. එහෙම කියන්නේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා දුටු නරක දොස්‌තර කවුද? හොඳ දොස්‌තර කවුද? මම සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට වැඩ බාර අරගෙන මාස 18 ක්‌ ගතවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙනුත්, වසර 60 ක්‌ මේ රටේ ජීවත් වූ පුරවැසියෙක්‌ වශයෙනුත්, මට මේ දෙපාර්ශ්වයම පිළිබඳව අවබෝධයක්‌ තිබෙනවා. වෛද්‍ය වෘත්තිය යනු ගෞරවනීය, සමාජ පිළිගැනීමක්‌ ඇති මානවවාදී උතුම් වෘත්තියක්‌. රැකියාවකට වඩා මුළුමහත් මානව සමාජයටම සේවය කළ හැකි තනතුරක්‌. වගකීම්වලට වඩා මිනිසුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට හැකි වෘත්තියක්‌. හොඳ දොස්‌තර සහ නරක දොස්‌තර ගැන මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා කළ ප්‍රකාශය සම්බන්ධව මටත් අත්දැකීම් තිබෙනවා.

පසුගිය වසරේ බදුල්ල මහ රෝහලේ දී වෛද්‍යවරියක්‌ ඩෙංගු රෝගය වැළැඳී මියගිය අවස්‌ථාවේ සාධාරණ කරුණු විමර්ශනයකට එම සිද්ධිය ලක්‌කළ විට ඇති වූ තත්ත්වය නරක දොස්‌තර කවුද කියන එක වටහා ගැනීමට පහසු කාරණයක්‌. ඒ වගේම එක්‌තරා ශික්‍ෂණ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක්‌ සම්බන්ධව ලැබුණ පැමිණිලි මත කටයුතු කිරීමට ගිය අවස්‌ථාවේ එම විශේෂඥ වෛද්‍යවරයා පරීක්‍ෂණයට ඉඩනොදී කටයුතු කළ ආකාරයත්, හොඳම නිදසුනක්‌. දරු උපත්වලදීත් මාස එකහමාරක්‌ වැනි කාලයක්‌ තුළ උපත ලද දරුවන් වැඩිපුර මියගිය බව තමයි එම විශේෂඥ වෛද්‍යවරයාට එල්ලවූ චෝදනාව. එවැනි අවස්‌ථාවක පැමිණිල්ලක්‌ ලැබුණාම ඒ පිළිබඳව සොයාබලන එක අමාත්‍යාංශයේ වගකීමක්‌. නමුත් මේ විශේෂඥ වෛද්‍යවරයා එයට ඉඩදුන්නේ නැහැ. එමෙන්ම රෝහලක ප්‍රතිකාර ගන්නා රෝගී මවක්‌ ගැන ඇගේ දරුවා මට දුරකථනයෙන් කතා කර ප්‍රශ්න කළේ ඇමැතිතුමනි, මගේ අම්මා අසනීප වී දැන් රෝහල්ගත කරලා දින 03 ක්‌ වෙනවා. නමුත් මගේ අම්මාට තවම බෙහෙත් පෙත්තක්‌ වත් රෝහලෙන් දීලා නැහැ කියලා. මම කිවුවා රෝහල් අධ්‍යක්‍ෂවරයා මුණගැ හෙන්න, මමත් කතා කරලා කියන්නම් කියලා. නමුත් ඊට පසුවදා මම ඒ අම්මාව බලන්න රෝහලට ගියා. හැබැයි පස්‌සේ මට යන්න වුණේ රෝහලට නොවෙයි ඒ මවගේ මළගෙදරට. රෝහලේ දී බෙහෙත් පෙත්තක්‌වත් නොලැබ ඒ අසරණ අම්මා මියගිහින් තිබුණා.

මම දන්න විදිහට රෝහල්වල වාට්‌ටුවල ඇඳන් පේළි දෙක වෛද්‍යවරුන් බෙදාගෙන ඉන්නේ. එක ඇඳන් පේළියක්‌ බලන වෛද්‍යවරයා ඉන්දැද්දී අනෙක්‌ වෛද්‍යවරයා නැත්නම් ඒ නැති විශේෂඥ වෛද්‍යවරයාගේ රෝගීන් අනෙක්‌ වෛද්‍යවරයා බලන්නේ නැහැ. සෑම තැනකම එසේ නොවුණත් සමහර තැන්වල එසේම සිද්ධ වෙනවා. එකී ඇඳන් පේළිය අයිති විශේෂඥ වෛද්‍යවරයාගෙන් මේ මියගිය මව ගැන විමසුව විට ඔහු ප්‍රකාශ කළේ මගේ වෛද්‍ය නිලධාරීන් මේ රෝගියා ගැන කිසිවක්‌ නොකී බවයි. එතකොට වැරැද්ද කාගේද? වාට්‌ටුවේ සේවය කළ ආධුනික වෛද්‍යවරුන්ගේ ද? වාට්‌ටුවේ ඇඳන් පේළි දෙක වෙන්කරගෙන සිටින විශේෂඥ වෛද්‍ය වරුන්ගේද? රෝහල් අධ්‍යක්‍ෂවරයාගේද? රෝගියා මියගියා නම් සිද්ධිය ඒක නම් ඒ පිළිබඳ විනිශ්චය මා බාරදෙන්නේ උගතුන්ට හා බුද්ධිමතුන්ටයි.

වෛද්‍ය වෘත්තිය යනු වගකීම ඉක්‌මවා ගිය යුතුකම නියෝජනය කරන ඉහළම ගරුත්වයක්‌ ඇති මානවවාදී සේවයක්‌ බව මගේ හැඟීමයි.

ඒ වගේ තමයි කොළඹ රිප්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය සෙල්ලහේවා මහතාට අමාත්‍යාංශය විදිහට අපි උපදෙස්‌ දුන්නා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ටත් පුහුණු කරන ලෙස. ඒ මහතා රෝහලක්‌ රෝහලක්‌ ගානේ ගොස්‌ විශේෂඥ වෛද්‍යවරුන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව විශේෂ පුහුණුවක්‌ ලබාදුන්නා. නමුත් සමහර රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු ඒ මහතාට දොස්‌ කියා පලවා හැරීමට කටයුතු කළා. මේ තත්ත්වය නිසා කලකිරීමට පත්වූ සෙල්ලහේවා මැතිතුමා සිය වෘත්තියෙන් ඉවත් වුණා පමණක්‌ නොවෙයි මේ රටත් අත්හැර විදේශගත වුණා. හොඳ දොස්‌තරලා සහ නරක දොස්‌තරලා කවුද කියන එක මේ අත්දැකීම්වලින් ඔබට හිතාගන්නට පුළුවන්.

ඔබ දන්නවා මම සාමාන්‍ය ගොවි පවුලක වෙලේ, පැලේ, ඇළේ, දොළේ, ලියද්දේ, කුඹුරේ ගිය මිනිහා. පොළොන්නරුවේ ජනතාව මට කිව්වා උඹ ඔතන ඉඳලා හරියන්නේ නැහැ පාර්ලිමේන්තුවට පලයන් කියලා. ඒ අය එහෙම කියලා මාව පාර්ලිමේන්තුවට එව්වා. දැන් මම අවුරුදු 23 ක්‌, පාර්ලිමේන්තුවේ ඉන්නවා. අමාත්‍යාංශ 9-10 ක ඇමැතිවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. මම සාමාන්‍යයෙන් මගේ දිස්‌ත්‍රික්‌කයේ මම සම්බන්ධව සමීක්‍ෂණයක්‌ කරනවා. විශ්වවිද්‍යාල සිසුන් කණ්‌ඩායමක්‌ ඒ සඳහා යොදවනවා, ප්‍රශ්න පත්‍රයක්‌ දීලා පොළොන්නරුවේ ඡන්ද දායකයෝ මම ගැන මොකක්‌ ද කියන්නේ කියලා මම හොයනවා. මෛත්‍රිපාල සිරිසේන හොඳයිද? නරකයි ද? මොනවද තියෙන දුර්වලකම්? මොනවද තියෙන අඩුපාඩු? ඇමැතිවරයෙක්‌ විදිහට සුදුසු ද? නැද්ද? ගම්වල ජනතාව මොනවද කියන්නේ කියලා මම අඛණ්‌ඩව ලබාගන්නා තොරතුරු නිසා අවුරුදු 23 ක්‌ තිස්‌සේ මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මට එහෙම ඉන්න හැකිවෙලා තියෙන්නේ ජනතාව පෙන්වා දෙන අඩුපාඩු මම හදාගන්න නිසයි. දේශපාලනඥයෙක්‌ වේවා, රාජ්‍ය නිලධාරියෙක්‌ වේවා, අපි හැම කෙනෙක්‌ම අපේ අඩුපාඩු හදාගන්නේ නැත්නම් අපිට පැවැත්මක්‌ නැහැ. අඩුපාඩු නිවැරැදි කරගන්නවා නම් මීට වඩා වැඩි වැඩකොටසක්‌ අපිට කරන්න පුළුවන්.

අද මේ රටේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරු ඉන්නවා තමන්ගේ සේවා කාලය තුළ රෝගීන්ට සේවා කරන ගමන් ප්‍රදේශයේ මහජනතාවගේ සම්බන්ධ තාව ගොඩනඟා ගෙන තමන් සේවය කරන රෝහල වැඩිදියුණු කරන්නට කටයුතු කරන. ඒ සඳහා මහා වෙහෙසක්‌ දරන වෛද්‍යවරු තමන්ට තිබෙන පෞද්ගලික පහසුකම් ගැන නොසිතා දුප්පත්, අසීරු, අමාරු රෝගීන් සිටින තැන් සොයාගෙන ගොස්‌ සේවය කරන වෛද්‍යවරු ද සිටිනවා. පසුගියදා විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍ය තිලක්‌ අබේසේකර මැතිතුමා අපේ රටේ වෛද්‍යවරු අතරේ මහජන සම්භාවනාවට පත්වූ දෙවිවරු වශයෙන් සැලකුම් ලබනවා. රෝහලකට රෝගියෙක්‌ ප්‍රතිකාර ගැනීමට ගිය විට ආපසු නිවෙසට පැමිණිවිට තමන්ගේ ඥාති හිතවතුන්ට පවසන්නේ ඒ දොස්‌තර මහත්තයා දෙවි කෙනෙක්‌. ඒ දොස්‌තර මහත්තයා බුදුවෙන්න ඕනෑ කියලයි. ඒ වගේම සමහර රෝගීන් කියනවා ඒ දොස්‌තර මහත්තයා යකෙක්‌ වගේ. ඒ නර්ස්‌ නෝනා යක්‍ෂණියක්‌ කියලා. මේවා ඔබ අප සියලු දෙනා ජීවත් වන සමාජයෙන් අපට ඇසෙන දේවල්, ඒ නිසා අද මේ පත්වීම් ලබන වෛද්‍යවරු 822 අතරින් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා දුටු නරකම දොස්‌තරලා එක්‌ අයෙක්‌ හෝ බිහි නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරන අතරම, මානව දයාවෙන් පිරි හොඳ දොස්‌තර මහත්වරු, දොස්‌තර නෝනා මහත්වරු මේ 822 අතරින් බිහිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Divaina 2011/12/01

No comments:

Post a Comment