Friday, March 16, 2012

ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන්ට වහාම නිසි අධ්‍යාපනයක්‌ ලබාදිය යුතුයි - මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

තුෂාරී කළුබෝවිල

පාසල් දරුවන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ නිසි අධ්‍යාපනයක්‌ වහාම ලබාදිය යුතු බව මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශයට අවස්‌ථා කිහිපයකදී තමා මෙම යෝජනාව ඉදිරිපත් කළ නමුත් වැඩි දෙනකු සදාචාරාත්මකව ඊට එකඟ විය නොහැකි බව පවසමින් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කළ බව ඒ මහත්මිය කීවාය.

එහෙත් මේ වන විට දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන හා අතවර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් ඒ පිළිබඳව දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබාදී එයින් දරු පරපුර ආරක්‍ෂා කරගත යුතු බව ගුණසේකර මහත්මිය සඳහන් කළාය.

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ව මොනම හේතුවක්‌ නිසාවත් විවාහ කර නොදිය යුතු අතර ඔවුන්ට කැමැත්තෙන්වත් ලිංගික ඇසුරක්‌ පැවැත්වීමට ඉඩ නොදිය යුතු බවට ද ඇය අවධාරණය කළාය.

ලිංගික උත්තේජනයන්, ශාරීරික වෙනස්‌කම් ඇති වන නැතහොත් යෞවනත්වයට එළැඹි දරුවන්ට අනවශ්‍ය ලෙස නිදහස ලබාදීමත්, පෞද්ගලික පංතිවලට සහභාගිවීමේදී දරුවා පිළිබඳ සොයා නොබැලීමත් නිසා වැඩි වශයෙන් දරුවන් ලිංගික අතවරවලට ගොදුරු වන බව පැවසූ ගුණසේකර මහත්මිය පවුලක මව විදේශගතවීම ද දරුවන් විනාශවීම කෙරෙහි සෘජුවම බලපාන බව කීවාය.

මහාචාර්යවරිය මෙම අදහස්‌ පළ කළේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පසුගියදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදීය.

Divaina 2012.03.16

No comments:

Post a Comment