Tuesday, May 20, 2014

වකුගඩු ජාවාරම පිටුපස ශ්‍රී ලංකාව ?



රෝගියකු වෙනුවෙන් වකුගඩුවක්‌ හෝ ලේ බිඳක්‌ දන් දීම අතීතයේ සිට සැලකෙනුයේ මහා පුණ්‍යකර්මයක්‌ ලෙසිනි. මෙය මෙතෙක්‌ කල් පැවැතියේ රෝගියකු වෙනුවෙන් තවත් අයකු විසින් සිය කැමැත්තෙන්ම වකුගඩුවක්‌ හෝ ලේ දන් දීමේ සම්ප්‍රදායකි. එහිදී පරිත්‍යාග කරන්නා තමන් විසින් පරිත්‍යාග කරන දැ සඳහා කිසිදු මුදලක්‌ අය කර නොගන්නා අතර එය හුදෙක්‌ පරිත්‍යාගයක්‌ පමණක්‌ ලෙස සැලකේ. මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාවේ පැවැතියේ මෙවැනි තත්ත්වයකි. එහෙත් මෑතකදී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මහා පරිමාණ වකුගඩු ජාවාරමක්‌ ක්‍රියාත්මක වන බවට හා එහි මහ මොළකරු ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු බව අනාවරණය වීමත් සමගම ඉහත කී පරිත්‍යාගශීලී සම්ප්‍රදාය වෙනස්‌ වෙමින් පවතින්නේද යනුවෙන් සැකයක්‌ මතුව ඇත.

සාමාන්‍යයෙන් ඉන්දියාව තුළ නම් තම වකුගඩුව පමණක්‌ නොව ලේ බිඳ පවා මුදලට අලෙවි කරන්නන් මෙන්ම ඒවා මුදලට ලබාගෙන අලෙවි කරන වෛද්‍යවරුන් එමට සිටින බව අනාවරණය වී ඇත්තේ බොහෝ කලකට පෙරදීය. ඇතැම් රෝගීන් වෙනත් පරීක්‍ෂණයකට හෝ සැත්කමකට රෝහල්ගත වූ විටදී ඔවුන්ගේ වකුගඩු හොර රහසේම ඉවත් කර ගත් සිද්ධීන්ද ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එහෙත් ලංකාව තුළ මෙතෙක්‌ එවැනි රෝගියාටත් නොදන්වා වකුගඩු ඉවත් කිරීමේ සිද්ධීන් වාර්තා නොවීය.

මෙවන් වාතාවරණයක්‌ තුළ ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු මුල් වී සිදුකළ බව කියන මෙම වකුගඩු ජාවාරම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකිය.

මෙම වකුගඩු ජාවාරම පිළිබඳව මෙරටට තොරතුරු පළමුව ගලා ආවේ ඉන්දීය ජනමාධ්‍යයන් හරහාය. ඉතා ඉහළ මිලකට තම වකුගඩුවක්‌ අලෙවි කිරීමට එකඟ වූ ඉන්දීය ජාතිකයකු මෙරටට ගෙන්වා පුද්ගලික රෝහලකදී සැත්කමට භාජනය කිරීමෙන් පසු ඔහු මිය යැමත් සමගම මෙම ජාවාරමෙහි සුල මුල අනාවරණය විය.

එකී මියගිය පුද්ගලයාගේ ෙµaස්‌බුක්‌ පිටුව තුළ පළවූ තොරතුරු මත මෙම ජාවාරම පිළිබඳ දැනගත් පසු ඉන්දීය පොලිසිය විසින් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත් වූ අතර එම ජාවාරමෙහි මහ මොළකරු ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු බව හෙළිකරගත් බව මෙරට බලධාරින්ටද දැනුම් දුන් බවට ඉන්දීය ජනමාධ්‍යයන් විසින් වාර්තා කර තිබිණි.

එහෙත් එවැනි දැනුම් දීමක්‌ කළ පසුද මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඒ සම්බන්ධව මුනිවත රකිමින් එවැනි ජාවාරමක්‌ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට හෝ උනන්දු නොවූ බව පෙනෙන්නට තිබිණි. ඒ අනෙකක්‌ නිසා නොව මෙම ජාවාරම මෙරට ක්‍රියාත්මක වීම සඳහා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින්ද සහාය දක්‌වා තිබීම නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම වකුගඩු ජාවාරම කුමක්‌ද? එය සිදුකළ පුද්ගලයන් හා තිරයෙන් පිටුපස සිට ඔවුනට උපකාර කළ නිලධාරීන් පිළිබඳවද තොරතුරු මේ වන විට වෛද්‍ය ක්‌ෂේත්‍රය තුළම ඔවුනොවුන් අතර හුවමාරු වෙමින් පවතී.

මෙම වකුගඩු ජාවාරම යටතේ මුදලට තම වකුගඩු, වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට පෙනී සිටින රෝගියකුට ලබා දීමට කැමැත්තක්‌ දක්‌වන ඉන්දීය ජාතිකයන් හා එම රෝගීන් ශ්‍රී ලංකාවට ගෙන්වා අදාළ සැත්කම් මෙහි කිරීම සිදුවේ. මෙහිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්‌ සඳහා ඉන්දියාවේදී අධික මුදලක්‌ වැය කිරීමට සිදුවන නිසාත් ශ්‍රී ලංකාවේ එයට වඩා අඩු මුදලකට එවැනි සැත්කමක්‌ සිදුකර ගත හැකි බවත් වකුගඩුව ලබා දෙන්නන්ට හා එය බද්ධ කරන රෝගියාට ඒත්තු ගන්වා ඔවුන්ව මෙරටට ගෙනැවිත් ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ සිට වකුගඩු අලෙවි කිරීමට කැමැත්තක්‌ දක්‌වන්නන් හා එම වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් මෙරටට ගෙන්වීමට ඉන්දිය ජාතික වෛද්‍යවරුන් හා ව්‍යාපාරිකයන් පිරිසක්‌ මුදල් වැය කර ඇති බවත් එම වකුගඩු ජාවාරමෙහි මෙරට සම්බන්ධීකරණ කටයුතු ඉන්දීය වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු විසින් සිදුකළ බව මේ වන විට ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව ඇත.

මෙහිදී මෙරටට ගෙන ආ වකුගඩු ලබාදෙන හා බද්ධ කරන අය සඳහා වන සැත්කම් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ගණනාවක සිදුකර ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී මෙරට ක්‍රියාත්මක පටක බද්ධ කිරීමේ පනත යටතේ එම සැත්කම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය කමිටුවක්‌ හරහා අනුමැතිය ලබාගත යුතු අතර මෙම කටයුත්තේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ අනුමැතිය එම සැත්කම් සඳහා හිමිව ඇති බව වාර්තා වී තිබේ.

මෙහිදී අනාවරණය වී ඇති වැදගත්ම තොරතුරු නම් මෙම වකුගඩු ජාවාරම සම්බන්ධීකරණය කරන ලද ශ්‍රී ලාංකීය වෛද්‍යවරයා මෙරට වෛද්‍යවරුන් නියෝජනය කරනු ලබන ප්‍රබල වෘත්තීය සමිතියක මධ්‍යම කාරක සභා සාමාජිකයකු වීමත් ඔහුට ඉන්දියාවෙන් මෙරටට ගෙනා වකුගඩු ලබා දෙන හා බද්ධ කරන අයගේ සැත්කම් කිරීමේ කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට උපකාර කර ඇත්තේ එම සංගමයේම ප්‍රධානියකු බවට ලැබී ඇති තොරතුරයි.

කොටින්ම මෙරට වෛද්‍ය සභාවේ මෙන්ම ඉන්දීය වෛද්‍ය සභාවේද ලියාපදිංචිය හිමි මෙම ශ්‍රී ලංකා - ඉන්දීය වකුගඩු ජාවාරමෙහි මහ මොළකරු වන වෛද්‍යවරයා ඉහත කී වෛද්‍ය සංගම් ප්‍රධානියාගේ සංගම් නිලවරණවලට පවා වියදම් කර ඇති අයෙකු බව හෙළි වී ඇත. එමෙන්ම වෛද්‍යවරුන්ට ලැප්ටොප් වැනි උපකරණ මිලදී ගැනීමේ වැඩපිළිවෙල්වලදී එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේද මොහු විසිනි.

මෙම සියලු කටයුතු සඳහා ඉහත කී වෛද්‍යවරයා වැය කරන්නට ඇත්තේ වකුගඩු ජාවාරමෙන් උපයාගත් මුදල් බවට කිසිදු සැකයක්‌ නොමැත. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන වකුගඩු ලබා දෙන්නන්ගෙන් ඉවත් කර ගන්නා වකුගඩු බද්ධ කරන රෝගියකුගේ එක්‌ සැත්කමක්‌ වෙනුවෙන් මෙම වෛද්‍යවරු රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ ලබා ගෙන ඇති අතර මසකට එවැනි සැත්කම් 10 ක්‌ පුද්ගලික රෝහල්වල සිදුකර එම සැත්කම්වලින් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක්‌ ඔහු උපයා ගෙන ඇති බව වෛද්‍ය ක්‌ෂේත්‍ර ආරංචි මාර්ග හෙළිදරව් කර තිබේ.

මෙම වෛද්‍යවරයා වකුගඩු ජාවාරම හරහා උපයා ඇති එම මුදලින් රුපියල් ලක්‍ෂ 10 ක්‌ පමණ ඔහු සාමාජිකත්වය දරන ප්‍රබල වෘත්තීය සමිතියක ප්‍රධානියාට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙම සැත්කම් මෙරට සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ටද අනිවාර්යයෙන්ම මෙම මුදලින් කොටසක්‌ හිමි වන්නට ඇත.

කරුණු එසේ නම් මේ සා මිනිස්‌ අවයව ජාවාරමක්‌ මෙරට ක්‍රියාත්මක වූ බවට තොරතුරු අනාවරණය වී තිබියදීත් මෙරට බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක්‌ විධිමත් පරීක්‍ෂණයක්‌ අරඹා නැත්තේ මන්දැයි ගැටලුවකි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම වකුගඩු ජාවාරම පිළිබඳ පැමිණිල්ලක්‌ ලැබී නොමැති නිසා පරීක්‍ෂණයක්‌ ඇරැඹීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු නොකරන බවකි. එහෙත් මෙම ජාවාරම යටතේ වකුගඩුවක්‌ ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගත් ඉන්දීය ජාතිකයකු මියගිය පසු ඔහු වෙනුවෙන් ඔහුගේ ඥතීන් එම වකුගඩුව ලබා ගැනීමේ සැත්කම සිදුකළ පුද්ගලික රෝහලින් වන්දි මුදල් ඉල්ලා ඇති බවටද වාර්තා වී තිබිණි. එවැනි තත්ත්වයක්‌ යටතේ හෝ මෙම ජාවාරම පිළිබඳ තමන් කිසිදු දෙයක්‌ නොදන්නා බව පවසා දැත්a සෝදා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට නොහැකිය.

අනෙක්‌ අතට මෙවැනි වකුගඩු ජාවාරමකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ද සම්බන්ධ බවට මත පළවීම නිසා අමාත්‍යාංශයේම නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පත් කිරීම සොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි වූ ක්‍රියාවක්‌ බවට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසින් ප්‍රකාශ කර තිබිණි.

මෙම වකුගඩු ජාවාරම සම්බන්ධව ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාජිකයකුද නොවන වෛද්‍යවරයකු ද නොවන රජයේ ඉහළ නිලධාරියකු පත්කළ යුතු බවටද මුරුත්තෙට්‌ටුවේ හිමියෝ ඉල්ලීම් කර තිබිණි.

කරුණු මෙසේ නම් මිනිසත්කමටද නිගාවක්‌ වූ මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ මෙරට සැකකරුවන් වෙනත් රටක්‌ විසින් පරීක්‍ෂණ පැවැත්වීමට ඉල්ලා සිටින තෙක්‌ බලා නොසිට ඒ පිළිබඳ ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීම බලධාරීන්ගේ වගකීමකි.

මෙම වකුගඩු ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඉන්දීය පොලිස්‌ අංශ මෙරටට පැමිණීමට නියමිත බවටද ඉන්දීය ජනමාධ්‍යයන් විසින් වාර්තා කර තිබිණි.

මෙම ජාවාරමෙහි තොරතුරු අනාවරණය වී තිබියදීත් මෙරට වෛද්‍ය වෘත්තීය සමිති ඒ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ නොකොට මුනිවත රැකීමද ගැටලුවකි. විශේෂයෙන්ම තමන්ට අවාසිදායක ප්‍රවෘත්ති ජනමාධ්‍යයන්හී පළකරන බවට කලින් කලට මාධ්‍යයන්ට දොaෂාරෝපණ එල්ල කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍යවරයා මෙම වකුගඩු ජාවාරම හෙළිදරව් වී සති කිහිපයක්‌ ගතවී තිබියදීත් ඒ පිළිබඳව මුනිවත රැකීම ගැටලුවකැයි සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටිති.

කෙසේ හෝ මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා එහිදී වරදකරුවන් බවට හෙළිවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදීම නොපමාව සිදුකළ යුතු බවට බලධාරීන්ට අවධාරණය කර සිටින්නෙමු. එවැනි ක්‍රියාමාර්ගයක්‌ නොගන්නේ නම් මෙවැනි වංචනික ජාවාරම්වලින් මෙරට සමාජය තවත් වෙලා ගැනීම නොවැළැක්‌විය හැකි වනු ඇත.

ඒමන්ති මාරඹේ 


http://www.divaina.com/2014/05/20/feature01.html
 

No comments:

Post a Comment