Tuesday, December 17, 2013

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට වීදුරු කවුළුවෙන් බලා ඉගෙන ගන්න කියලා

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට ඔවුන්ගේ ප්‍රායෝගික පුහුණුව ලැබිම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමු කළ අවස්ථාවේ දැඩි සත්කාර ඒකකයට ඇතුළුවීමට ඉඩ නොදී පිටත සිට වීදුරු කවුළුවෙන් බලා ඉගෙනගන්නා ලෙසට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සිව් අවුරුදු විශේෂවේදී සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවන්හි අධ්‍යයන කාල සීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට උසස් අධ්‍යාපන නිලධාරීන් විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ශිෂ්‍යයින්ට හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

මෙම ශිෂ්‍යයින්ට ප්‍රායෝගික පුහුණුව සඳහා මහනුවර හා පේරාදෙණිය ශික්ෂණ රෝහල්වල ඉඩ ලබා නොදී ඔවුන් කුරුණෑගල රෝහල්වලට යොමු කළ විට එහි වෛද්‍යවරුන් මෙසේ පවසා ඇත. මෙවැනි සිදුවීම් හරහා සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍යයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ විට වෛද්‍ය සංගමයේ දැඩි විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බව ඔවුන් පවසන බව ද සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප්‍රසාද් මහතා පෙන්වා දෙන්නේ වසර හතරක පාඨමාලාවට තෝරා ගැනීම සඳහා වසර තුනක් අවසානයේ ශිෂ්‍යයින් ලබාගන්නා ජී.පී.ඒ. ලකුණු මට්ටම 2.8 කිරීම හේතුවෙන් ඒ සඳහා තේරෙන ශිෂ්‍යයින් සංඛ්‍යාව ඉතාමත් සුළු ප්‍රමාණයක් වන බවයි. මෙම ක්‍රමය පිළිගැනීමට ශිෂ්‍යයින් කිසිදු සූදානමක් නොමැති බවත් මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ශකිලා රාජපක්ෂ


 http://www.rivira.lk/edition/article/58391-%E0%B7%83%E0%B6%B8-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F.html

No comments:

Post a Comment