Saturday, December 28, 2013

ඇත්තටම උපත් පාලන එන්නත විෂ වුනාද


දින 45ක දරුවෙකුත් ඉන්නවා

මේරි නිරෝෂණි සහ දිනේෂ් කුමාර අල්මේදා දෙමාපිය ආශිර්වාදය මැද අතිනත ගත්තේ මෙම වසරේ ජනවාරි මාසයේය. දුක සැප එකසේ බෙදාගෙන පවුල් ජීවිතය ගත කළ මේ පුංචි කැදැල්ලට සිඟිති දියණියක්‌ ලැබුණේ පසුගිය මාසයේදීය.

අලුත උපන් සිඟිති දියණිය සමග දිනේෂ් සහ මේරි සතුටුදායක පවුල් ජීවිතයක්‌ ගතකරමින් සිටියේය.

තම සිඟිති දියණියගේ කණ විඳීම සඳහා මේරි දිනයක්‌ නියම කරගෙන සිටියාය. එදින තම මව වන රීටා සෙල්වරාණි සමග ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයට ගියේ තම සිඟිති දියණියගේ කණ විදීම සඳහාය. එම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගියේ කල්පිටිය දිසා රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසිනි.

සිඟිති දියණියගේ කන විදගත් නිරෝෂණි තම මව තුරුළට ළමයා දී නැවතත් දොස්‌තර මහතා වෙත ගියේ මාස තුනක්‌ යනකන් දරුවකු පිළිසිඳ ගැනීම වළක්‌වන පවුල් සැලසුම් එන්නතක්‌ විද ගැනීම සඳහාය.

නිරෝෂණි පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඇයට සුදුසු පවුල් සැලසුම් එන්නතක්‌ ශරීරගත කළේය. එය විදගෙන එළියට එනවාත් සමඟ නිරෝෂණිගේ ගතට අමුත්තක්‌ දැනුණි. තම මුළු ශරීරයම වෙව්ලා යන ගතියක්‌ ඇයට දැනුණාය. මේ බව තම මවට කියනවාත් සමඟ ඇය සිහිමුර්ඡා වී වැටුණාය.

මේ කිසිවක්‌ නොදත් මේරිගේ මව සෙල්වරාණි භීතියට පත්ව කෑමොර දුන්නාය. එම කෑගැසීම ඇසුණ වෛද්‍යවරයා ද ක්‍ෂණයෙන් එළියට පැමිණියේය.

ස්‌වල්ප මොහොතකට පෙර තමා විසින් බෙහෙත් එන්නත විදි කාන්තාව බිම වැටී සිටිනු දුටු වෛද්‍යවරයා ද තුෂ්ණිම්භූත විය. වහාම රෝගියා පරීක්‍ෂා කළ වෛද්‍යවරයාට තත්ත්වය එතරම් යහපත් නැති බව වැටහුණි. එම එන්නත ලබාගැනීමෙන් පසු කිසියම් අසාත්මිකතාවකට ඇය පත් වී රෝගී වී ඇති බව ඔහු අවබෝධ කරගත්තේය.

එම අවස්‌ථාවේදීම වෛද්‍යවරයා තම පුද්ගලික මෝටර් රථයේ රෝගියා දමාගෙන කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්තේය. එහිදී දැඩි ලෙස අසාධ්‍ය වූ ඇය එසැණින්ම පුත්තලම මූලික රෝහලට මාරු කර යෑවීය. එදින රාත්‍රි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අවසන් හුස්‌ම හෙළුවාය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය මෙම එක්‌ දරු තරුණ මවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ හලාවත දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්‌ඩා මහතා සඳහන් කළේ මෙම මරණය පිළිබඳ විවෘත තීන්දුවක්‌ දෙමින් සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා තව දුරටත් පරීක්‍ෂා කර වාර්තාවක්‌ ලබා ගන්නා බවය.

මෙම මියගිය කාන්තාවට එන්නත් කළ පවුල් සැලසුම් එන්නත ගැන ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරියකුගෙන් විමසූවිට ඔහු මෙසේ පැවසීය.

රජයේ රෝහල්වල භාවිත කරන පවුල් සැලසුම් එන්නත් තහනම් කර නොමැති බවත් දැනට තහනම් කර ඇත්තේ පෞද්ගලික රෝහල්වල භාවිත කරන ඩිපොටෝන් නමැති එන්නත බවත්ය. පෞද්ගලික අංශයේ භාවිත කරන වෙනත් වෙළෙඳ නාම යටතේ පවතින පවුල් සැලසුම් එන්නත්වල කිසිදු ගැටලුවක්‌ නොමැති බවද ඔහු පැවසීය.

මෙම එන්නත තායිලන්තයේ නිෂ්පාදිත එකක්‌ වන අතර එම එන්නත පිළිබඳව මෙරට හා විදේශීය රසායනාගාර තුළ පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරගෙන ඇති බවටත් ඒ සඳහා යන මුදල් එම එන්නත නිෂ්පාදිත සමාගමෙන් ලබා ගැනීමටත් කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය.

වැඩි දුරටත් අදහස්‌ දක්‌වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම එන්නත ලබාගන්නා මව්වරුන්ගෙන් මිලියන දෙකකින් එක්‌ අයකුට මෙවැනි තදබල අසාත්මිකතාවක්‌ ඇති විය හැකි බවය.

කොතනක හෝ සිදුවූ වරදකින් දැන් සැමියකුට දයාබර බිරිඳක්‌ ද කිරිකැටි බිලිඳියකට මවක්‌ ද නෑදැ හිත මිතුරන්ට දයාබර සොහොයුරියක ද අහිමි වී ඇත. යළි කා හටවත් ඇයට ජීවිතය ලබාදිය නොහැකිය. දැන් කළ හැක්‌කේ එකම දෙයකි. ඒ මෙම සිද්ධිය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා සුදුස්‌සාට නිසි දඬුවම් දීමය. එවිට නැවත මෙවැනි අවාසනාවන්ත සිද්ධි අපට අසන්නට නොලැබෙනු ඇත.

ගයාන් සමරසිංහ
 


No comments:

Post a Comment