Thursday, March 15, 2012

ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධුරයට නැවත කැඳවීම් බෑ – රා.සේ.කො. නීතිඥ

March 10, 2012 1:57 am



එක් පුද්ගලයකුගේ පෞද්ගලික හේතු මත හෝ විශේෂත්වයක් මත කොළඹ ජාතික රෝහලේ දැනට පුරප්පාඩුව පවතින රෝහල් අධ්‍යක්ෂ ධුරය පිරවීමට අදාළව නිකුත් කර ඇති චක‍්‍රලේඛය අවලංගු කිරීම හෝ, අයැදුම්පත් කැඳවීම සඳහා ප‍්‍රසිද්ධ කළ දැන්වීම නැවත පළකිරීම හෝ කළ නොහැකි බව රාජ්‍ය සේවා කොමිසම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමට සුදුසු තැනැත්තිය තමා බව සඳහන් කරමින් වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට කැඳ වූ පසුගිය 01දා කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එසේ පැවසීය.

මෙහිදී රාජ්‍ය සේවා කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම තනතුරට අයදුම්පත් කැඳවූ චක‍්‍රලේඛය මගින්ම තවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු තුනක් සඳහා අයදුම්පත් කැඳවා ඇති බවය. එම පුරප්පාඩු මේ වනවිට පුරවා ඇති බැවින් මෙම චක‍්‍රලේඛය අහෝසි කළහොත් එම පත්වීම්ද අහෝසි වන බව රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම පෙත්සමේ විභාගය මෙයට පෙර කැඳ වු අවස්ථාවේදී පෙත්සම සම්බන්ධයෙන් සමථයකට පැමිණිය හැකිදැ’යි යන්න සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය සේවා කොමිසමට උපදෙස් දුන් විට එවැනි සමථයකට පැමිණීමක් කළ නොහැකි බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

දෙපාර්ශ්වයටම කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන් ශේ්‍්‍රෂ්ඨාධිකරණය පෙත්සම විභාගය මාර්තු මස 12දා නැවත කැඳවන බව දැන්වීය.

මෙම පෙත්සම විභාගය අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, පී.ඒ. රත්නායක, ආර්.කේ. සුරේස් චන්ද්‍ර යන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඉදිරියේ කැඳවන ලදී.

නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාරිය වෙනුවෙන්ද, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවුණිද සිල්වා මහත්මිය නීතිපති වෙනුවෙන්ද පෙනී සිටියහ.

රාවය

lankaleaks.com

No comments:

Post a Comment