Wednesday, January 2, 2013

වකුගඩු රෝගයෙන් අත් මිදෙන්න රත්තරන් වටිනා ඔවදනක්‌ - විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර


එප්පාවල - රත්න බී. ඒකනායක

රජරට පුරාවට පැතිරී තිබෙන අහේතුක යෑයි කියන වකුගඩු රෝගයට මුල ගොවිතැනට යොදන රසායනික පොහොර, කෘමි නාශක, වල් නාශක ආදියෙන් කාන්දුවන ආසනික්‌, කැඩ්මියම් වැනි විෂ කාරකයන් මුහු වී ඇති භූගත ජලය පානය කිරීම යෑයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය සිරිපුර පන්සලේ පසුගිය 16 දා පැවැති වකුගඩු රෝග සායනයට පැමිණ සිටි තුන්සියයක්‌ පමණ වූ රෝගීන් අමතා පැවසුවා.

රජරට පුරාවට පැතිරී ඇති වකුගඩු රෝගය අහේතුක වකුගඩු රෝගයක්‌ හැටියට සමහර අය හඳුන්වනවා. මෙය වැරදි වහන්න කියන කථාවක්‌. රජරට වකුගඩු රෝගය අහේතුක නෙමෙයි. සහේතුකයි. කැඩ්මියම්. ආසනික්‌, සයනයිඩ් වැනි බැර ලෝහයන් මුසු වූ භූගත ජලය කලක්‌ පානය කිරීමෙන් වකුගඩු රෝගය හැදෙනවා. එවා භූගත ජලයට මුසුවෙන්නේ රසායනික පොහොර සහ කෘෂි රසායන මාර්ගයෙන්. මෙය ඉතාමත් පැහැදිලියි. මේ නිසා විෂ කාරකයන් නැති පොහොර වර්ග සහ කාෂි රසායන වර්ග භාවිත කරන්න ඕන. මේවායේ කිසියම් කළමනාකරණයක්‌ කරන තුරු හැම පවුලකටම විෂ කාරකයන් නැති පිරිසිදු වතුර පානයට දෙන්න ඕනෑ යෑයි විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය පැවසුවාය. තවදුරටත් මේ ගැන කරුණු දැක්‌වූ විශේෂඥ වෛද්‍යවරිය මෙසේද පැවසුවාය.

වැසිදිය, වැව්දිය. ගංදිය බොන්න

තමන් පානයට ගන්නා ළිං ජලය විධිමත් පරීක්‍ෂණයක්‌ නොකර පානයට ගන්න එපා. ප්‍රථම වරට නෙමෙයි එයින් පසුව වහින වැහි ජලය, පිරිසිදු භාජනයකට එකතු කර ගත්තාම බීමට ඉතා හොඳයි. වැව් දිය සහ ගං දියත් හොඳයි. ඒවා උණුකරල බොන්න ඕන. රජරට භූගත ජලය විෂ කාරකවලින් ඉඳුල් වෙලා. ඒවා බීමට සුදුසු නැහැ.

පිරිසිදු වතුර ලීටර් පහක්‌ හයක්‌ දිනකට බොන්න

විශේෂයෙන් කුඹුරුවල ගිනි අව්වේ වැඩ කරන ගොවි ජනතාවගේ දහදිය ගොඩක්‌ පිටවෙනවා. ඒ අය දවසකට වතුර ලීටර් පහක්‌ හයක්‌ බොන්න ඕනෑ. ඒ මගින් වකුගඩු හොඳින් ක්‍රියාත්මක වෙනවා. ගොවිපළේ තෙල් ඉසීම කරන කොට, දැස, නාසය, දෙකන්, මූණකට, සිරුර හොඳින් වසා ගන්න. ශරීරයේ තුවාල තිබේ නම් තෙල් ගහන්න යන්න එපා. දවසකට පැය දෙකකට වඩා තෙල් ගැහීමේ යෙදෙන්න එපා. පැය දෙකකට අඩු කාලයක්‌ තෙල් ගහල, ඒ ගමන්ම සබන් ගාලා හොඳින් නා ගන්න. තෙල් ගහනවිට දැතට මේස්‌ දමා ගන්න. තෙල් ගහන වෙලාවට සිගරැට්‌, බුලත් විට, තේ, කෑම බීම ආදිය ගන්න එපා. නිකරගුහාවේ උක්‌වතුවල වැඩ කරන කම්කරුවන්ට උදය වැඩට පැමිණි වහාම නිල ඇඳුම් කට්‌ටලයක්‌ සමඟ වතුර ලීටර් හයේ බෝතලයක්‌ දෙනවා. වැඩ ඉවර වෙද්දී ඒ වතුර සියල්ලම බොන්න ඕන. එහෙම දැඩි නීති යොදලත් නිකරගුහාවෙ 2010 - 2011 වසර දෙකේ කම්කරුවන් 12,000 ක්‌ වකුගඩු රෝගයෙන් මැරිලා. අපේ රටේ අය මේවා කිසිවක්‌ පිළිපදින්නේ නෑ. වකුගඩු මරණ වැඩි වෙන්න මෙයත් එක්‌ හේතුවක්‌.

වකුගඩු රෝග නිවාරණයට බෙහෙත් නෑ

වකුගඩු රෝගය හැදුනොත් හැදුනම තමා. මේ බෙහෙත්වලින් කරන්නේ රෝගය පාලනය කිරීමක්‌ විතරයි. නිට්‌ටාවට සුව කරන්න බෑ. වකුගඩු රෝගයට තියෙන හොඳම පිළියම තමයි නිරෝගී වකුගඩුවක්‌ බද්ධ කිරීම. මේ තරම් රෝගී සංඛ්‍යාවකට කොහෙන් නිරෝගී වකුගඩු හොයන්නද? මේ නිසා රෝගය බෝවීමෙන් වැළකී සිටින්න හැම දෙනාම පිරිසිදු වතුර බොන්න ඕන. තෙල්, පොහොර, වගාවට යොදද්දී ඇඟපත ආවරණය කරගන්න ඕන. වකුගඩු රෝගය නොහැදී බේරෙන්න පිරිසිදුÊවතුර වැඩියෙන් බොන්න ඕන. තෙල්, පොහොර, නොයොදා කාබනික පොහොර යොදා සිංහල හාලේ බත කෑමට ගන්න ඕන.

කොළඹ ජයග්‍රහණය සංවිධානයෙන් පැමිණ සිට වෛද්‍ය පිරිසක්‌ තුන්සියයක්‌ පමණ රැස්‌ව සිටි වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර නොමිලයේම ලබා දුන්හ. සෙසු වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂාවට අමතරව සෑම රෝගියෙක්‌ ම විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය විසින්ද 16 වැනිදා රෑ බෝ වනතුරු ම පරීක්‍ෂා කරනු ලැබීය

http://www.divaina.com/2013/01/02/news06.html

No comments:

Post a Comment