Saturday, January 5, 2013

රටේ නිරෝගිමත් ජනතාවක්‌ සිටීමට නම් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය කළ යුතුයි. සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන


මැදිරිගිරිය රෝහලේ නව ශල්‍යාගාරය විවෘත කිරීමේ උළෙල

මින්නේරිය - සුජිත් කරුණාතිලක

අපි දේශපාලන දර්ශනයක්‌ තුළ වැඩ කරන්න ඕනෑ මානවවාදී ලෙස ජනතාවට ආදරය කරමින් අපේ සේවාව ඉටුකළ යුතුයි.

ශ්‍රීලනිප මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මැදිරිගිරිය මූලික රෝහලේ රුපියල් ලක්‍ෂ 400 ක වියදමින් ඉදිවූ නව ශල්‍යාගාරය විවෘත කරමින් එසේ පැවසීය.

වැඩිදුරටත් කතා කළ ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.

අපේ රටේ මිනිසුන් බොහෝ දේවල් හරි ඉක්‌මනට අමතක කරනවා. පොළොන්නරුවේ ජනතාව සී. පී. ද සිල්වා මහතාට කිව්වෙ මින්නේරි දෙවියො කියලා. එහෙමයි එතුමාට සැලකුවේ. ඒත් ජීවිතේට දැකපු නැති කෙනකුට ඡන්දෙ දීලා එදා එතුමා පැරැද්දුවා. අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ රත්න දේශප්‍රිය සේනානායක මහතා. එතුමා කවුද කියලා මින්නේරිය ජනතාව දන්නේ නෑ, 56 සිට අවුරුදු 14 ක්‌ තිස්‌සේ සී. පී. ද සිල්වා මහතා මහා විශාල සේවාවක්‌ ඉටුකළා. අන්තිමට මින්නේරි දෙවියන්ට හූ කියලා යෑව්වා.

අපිට ඕන රෝහල් වැඩි දියුණු කරනවා වගේම රෝහලට එන රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමටයි.

2010
මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වූ පසුව කළ පළමු වෛද්‍ය සායනය ඈත මීගස්‌වැව පැවැත්වූයේ. ඒ ගමේ අපි දැක්‌ක දෙයක්‌ තමයි පාසල් යන වයස අවුරුදු දහයෙ දොළහේ ළමයින්ගේ කටේ පවා බුලත් හපයක්‌ තිබුණු එක.

රටේ නිරෝගීමත් ජනතාවක්‌ සිටීමට නම් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කළ යුතුයි. මහරගම පිළිකා රෝගීන්ගෙන් 20% ක්‌ පමණ සිටිනවා බුලත්විට නිසා පිළිකා හැදුණු අය. මගේ මිත්‍ර දේශපාලනඥයෙක්‌ පවා හිටියා.

ජනතාව ආර්ථික හා සෞඛ්‍ය වශයෙන් පිරිහෙන්නෙ ඇයි. කොතරම් අඩුපාඩුකම් තිබුණත් මත්පැන් දුම්වැටිවලට මුදල් වියදම් කරනවා. ඒක නිසා ආර්ථිකය කඩා වැටෙනවා. පවුල් ආරවුල් ඇති වෙනවා.

අපේ ගම්වල තියෙන සමිති සමාගම් සංවිධාන සෞඛ්‍ය කමිටු බවට පත් කරන්න ඕනෑ. ඩෙංගුවලට ගම්මාන මට්‌ටමින් කමිටු හැදුව වගේ මේවා සෞඛ්‍ය කමිටු කරන්න ඕනෑ. මේකට කාන්තා පක්‍ෂයට ලොකු සහායක්‌ දෙන්න පුළුවන්. බීමත්ව ඉන්න අයෙක්‌ ඉන්න ගෙදර ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ගෘහණියට. සමාජවල සිදුවන විවිධ අපචාර ව්‍යසන සඳහා හේතුවන්නේ අරක්‌කු, මත්ද්‍රව්‍ය වැනි දැ.

සමාජ සංවර්ධනය යනුවෙන් ගොඩනැගිලි සෑදීම, රැකියාවක්‌ ලබාදීම හොඳ ආර්ථිකයක්‌ ඇති කිරීම පමණක්‌ නොවෙයි. ගුණගරුක හොඳ මිනිසකු සෑදීමත් සමාජ සංවර්ධනයයි.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු සමාජයක්‌ ගොඩ නැගුවිට තමයි සංවර්ධිත සමාජයක්‌ ඇතිවන්නේ. 2013 දී තමන්ගේ ගම්වල මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන්න හොඳ ප්‍රතිඵල අත්වේවි.

මෙහිදී කතාකළ ඉඩම් නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා මෙසේ පැවසීය. අද මේ දිස්‌ත්‍රික්‌කය දැවැන්ත සංවර්ධනයක්‌ කරා යනවා. දැන් ගොඩාක්‌ අයට යුද්ධය අමතක වෙලා. සමහර ගම්වලට යන කොට අහනවා මොනවද කළේ කියලා. මෙහේ පාරවල්වල යන්න පුළුවන් තත්ත්වයක්‌ තිබුණේ නෑ. රටේ තිබුණු මහවැලි වාහන ඔක්‌කොම මෙහාට ගෙනත් මෙහෙ පාරවල් හැදුවා. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සාදන ලොකුම පාරවල් දෙකෙන් එකක්‌ වන බිසෝපුර සිට කන්තලේ දක්‌වා වන පාරේ ඉදිකිරීම් දැන් සිදුවෙනවා.

අද පොළොන්නරුව මහ රෝහල දියුණුකොට තිබෙනවා. කිසිම රෝගියෙක්‌ පිටස්‌තර රෝහලකට ගෙන යැමට අවශ්‍ය නෑ. දැයට කිරුලෙන් සංවර්ධන කටයුතු සඳහා අපට රුපියල් මිලියන 100 ක්‌ වෙනකර තියෙනවා.

මෙම අවස්‌ථාවට උතුරුමැද අධ්‍යාපන හා තොරතුරු තාක්‍ෂණ ඇමැති පේෂල ජයරත්න, පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ නොයෙල් උඩුගම යන මහත්වරුද සහභාගි වූහ.


No comments:

Post a Comment