Saturday, March 3, 2012

දුම්වැටි නිසා හැම තත්පර හයකටම එක්‌ අයකු මරණයට පත්වෙනවා

ශ්‍යාම් නුවන් ගනේවත්ත

දුම්කොළ භාවිතය නිසා සෑම තත්පර හයකට වරක්‌ම එක්‌ අයකු මියයන බව ද සෑම වැඩිහිටි මරණ දහයකට එක්‌ අයෙක්‌ මියයන්නේ දුම්වැටි භාවිතය නිසා වැළඳෙන රෝගවලින් බවද මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය හා පිළිකා සරණ සංගමයේ සභාපති සමාධි රාජපක්‍ෂ මහතා පැවසීය.

දුම්වැටි වලින් රජයට බදු ආදායමක්‌ ලැබුණත් නිදහස්‌ සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිසා එම මුළු ආදායම මෙන් කිහිප ගුණයක්‌ම රජයට දුම්වැටි භාවිතය නිසා රෝගී වූ අය සුවපත් කරන්න වැය වන බවද වෛද්‍යවරයා අවධාරණය කළේය. දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීමේ එක්‌ පියවරක්‌ ලෙස සිගරට්‌ පැකට්‌වල දුම්බීමේ ආදීනව දැක්‌වෙන ඡායාරූප ඇතුළත් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය කඩිනමින්ම ගෙන ආ යුතුයි. මෙය දීර්ඝ කාලයක්‌ ප්‍රමාදවීම කනගාටුවට කරුණක්‌ බවද වෛද්‍ය රාජපක්‍ෂ කීවේය.මෙහිදී කතා කළ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ අද තරම් තියුණු ලෙස සිගරට්‌ භාවිතයට එරෙහි කරුණු දේශපාලන අධිකාරියට දැනෙන ලෙස මාධ්‍ය විසින් ප්‍රශ්න කළ අවස්‌ථාවක්‌ තමා දැක නැති බවයි. මෙය ඉතා ප්‍රශස්‌ත තත්ත්වයක්‌ බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවට ජීවක පදනමේ සභාපති මංජරී පීරිස්‌ මහත්මියද එක්‌ව සිටියාය.

Divaina 2012.03.02

No comments:

Post a Comment