Saturday, March 3, 2012

ශ්‍රී ලංකාවේ මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය සීග්‍රයෙන් අඩුවෙයි

තුෂාරී කළුබෝවිල

ශ්‍රී ලංකාවේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය ගත වූ වසර පහේ දී සීග්‍රයෙන් අඩුවී ඇතැයි අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති ලේෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය පැවසුවා ය.

අන්තර් ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්‌ඩලයේ 2011 වාර්ෂික වාර්තාව අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සහ කොළඹ එක්‌සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ අනුග්‍රහයෙන් ඊයේ (01 වැනිදා) එළිදැක්‌වූ අවස්‌ථාවේ දී චන්ද්‍රසේන මහත්මිය මේ බව පැවැසුවාය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් 1500 ක්‌ මේ වනවිට අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්‌ඩලය යටතේ පුනරුත්ථාපනය කෙරෙන බව ද ඒ මහත්මිය කීවා ය.

මෙම අවස්‌ථාවට සහභාගී වූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පසුගිය වසරේ මත්ද්‍රව්‍ය, මත්පැන් ආශ්‍රිත වැටලීම් 13000 ක්‌ සිදු කළ බවයි.

එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 30 කට වැඩි ප්‍රමාණයක්‌ සහ ගංජා කිලෝග්‍රෑම් 15000 ක්‌ පමණ අත්අඩංගුවට ගත් බව ඒ මහතා පැවැසීය.

පසුගිය වසරේ මත්ද්‍රව්‍ය, මත්පැන් ආශ්‍රිත වැරැදි හේතුවෙන් බන්ධනාගාර ගතවූවන්ගේ ප්‍රතිශතය සියයට 63 ක්‌ බව ද මෙහි දී අනාවරණය විය.

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ශ්‍රී ලංකාවට පමණක්‌ නොව මුළු ලෝකයට ම බලපාන ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇති බවත්, මේවා පාලනය කිරීමේ ක්‍රියාවලිය මොහොතකට හෝ ප්‍රමාද කිරීමේ කිසිදු හැකියාවක්‌ නැති බවත් මීට සහභාගී වූ නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා කීවේය.

මෙම අවස්‌ථාවට ඖෂධ පාලක මණ්‌ඩලය, ශ්‍රී ලංකා රේගුව, වෛද්‍ය අධිකාරිය, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක ඉහළ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වූහ

Divaina 2012.03.02

No comments:

Post a Comment