Saturday, January 5, 2013

වැඩි මහතත් හොඳ නෑ දුවේ



දියණියක් සිටින මවකගේ වගකීම අතිවිශාලය. අද දැරිය හෙට යෞවනියකි. යොවුන් වියෙන් පසුව ඇය තුරුණු වියට එළැඹෙන්නීය. ඉගෙනුම ලබාදීම මෙන්ම දියණියකට මනා පෝෂණයක් ලබාදීම ද දියණිය කුඩා කාලයේ සිටම මවකගේ වගකීමයි. ඒ අද දැරියක වුව ද ඇය මතු දිනයක මවක වීමට සූදානම් වන්නීය. ඒ සූදානමේ දී මවක වීමට ඇය තුළ සුදුසුකම් තිබිය යුතුය. මේ සුදුසුකම පෝෂණය පදනම් කරගත්තකි. තරුණියක පමණක් නොව ඕනෑම අයකු උසට සරිලන බරක් පවත්වාගෙන යාම ද වැදගත් වේ.
තරුණිය, යෞවනිය බෙහෙවින් සුන්දරය. ඒ සුන්දර බව වඩාත් වැඩිකරනු ලබන්නේ ඇගේ ඇඳුම පැලඳුමයි. ඇඳුම් ඇඳීමේදී තිබෙන එකම අැඳුම වුවද පිරිසුදුවට ඇඳීම ඉතා වැදගත්ය.
 
ඒ ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම සඳහාය. ලියක් මනාලියක් වන දා ඈ සතු රුව මෙන් ඈ සතු ගුණයහපත්කම ද ජීවිතයට ආලෝකයක් එක් කරනු ඇත.
විශේෂයෙන්ම විවාහ වන වයසේ සිටින තරුණ දියණියන්ගේ පෝෂණය වෙනස් ආකාරයෙන් තිබිය යුතු දැයි අප මෙහිදී විමසා බැලිය යුතුය.
 
මේ පිළිබඳව අදහස් දක්වන්නේ ද සොයිසා කාන්තා  රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ කාර්ය භාර හෙද නිලධාරිනී එස්.පී.අතුකෝරල මහත්මියයි.

එදිනෙදා ජීවිතය මනා ලෙස පවත්වාගෙන යාමට කාටත් සමබල ආහාර වේලක් අවශ්‍ය වෙනවා.
මෙහිදී පෝෂණය සම්පූර්ණ වෙන්න නම් මෙය කොටස් කිහිපයකට බෙදා දක්වන්න සිදුවෙනවා.
අපි දරුවකුගේ නීරෝගිකම ගැන සැලකිලිමත් වෙන්නට අවශ්‍ය දරුවා මවු කුසයේ සිටින කාලයේ දී යි.
ගැහැනු දරුවකු වැඩිවිය පැමිණි දා සිට ඇයට මනා පෝෂණයක් අවශ්‍යයි. මේ පෝෂණය කියන එක අපිට මේ විදිහට දක්වන්නට පුළුවන්.


දෛනිකව ශක්තිය වැය වන නිසා අප පිෂ්ඨය සහිත ආහාර (කාබෝහයිඩ්‍රේට්) ගත යුතුයි.
පිෂ්ඨය සහිත ආහාර ලෙස බත් අල බතල කොස් දෙල් ආදිය සඳහන් කරන්නට පුළුවන්.
මෙහිදී අපි ආහාරයට ගත යුත්තේ වැඩි වේලාවක් ආහාර මාර්ගයේ රැඳී තිබෙන ආහාර. උදාහරණයක් ලෙස ආහාරය ගැනීමට සුදුසුම රතු තම්බපු හාල්, තම්බපු හාල් ආදියෙන් පිසූ බත්. නමුත් අද ඇතැම් අය තෝරා ගන්නේ හොඳින් සුද්ද කළ සහල් වර්ගය.
 
නමුත් මෙය සුදුසු නැහැ. ඊට හේතුව මේවා ඉක්මනින් ශරීරයට උරා ගන්නවා. එය හොඳ නැහැ. නමුත් අතීතයේ අපේ ජීවන රටාව අදට වඩා වෙනස්. එදා අපි වෙහෙස මහන්සි වී වැඩ කළා. නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ. දැන් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්.
 
මහන්සි වී දහඩිය දමන්න වැඩ කරන්නේ නැහැ. මේ නිසා නොයෙකුත් ලෙඩ රෝගවලට මඟපෑදෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි.

ඒවගේම ප්‍රෝටීන් යකඩ කාන්තාවකට අවශ්‍යමයි.
ප්‍රෝටීන් යකඩ අඩු වුණොත් කාන්තාව නීරක්තියෙන් පෙළෙනවා. කාන්තාවකට නීරක්තිය හැදෙන්න බැහැ.
 
ගැහැනු ළමයකුට නීරක්තිය තිබෙනවා කියන්නේ ඇය කිසිසේත්ම විවාහයට සුදුසු නැහැ කියන එකයි.
ප්‍රෝටීන් බහුල ආහාර ලෙස සත්ව ආහාර, (මස්, මාලු, පීකුදු, කිරි, බිත්තර, කරවල ආදිය) දවසේ ආහාර වේලට අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුයි. යම් අයෙක් නිර්මාංශී නම් ඒ අයගේ ආහාර වේලට රනිල බෝග (කඩල කව්පි, මුංඇට ආදිය) එකතු විය යුතුයි. යකඩ ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම පලා වර්ග ආහාරයට ගත යුතුයි.

විශේෂයෙන්ම තද කොළ පැහැති පලාවර්ග (ගොටුකොළ, කතුරුමුරුංගා, මුකුණුවැන්න ආදිය) එමෙන්ම ආහාරයට විටමින් වර්ග එකතු විය යුතුයි.
 
අපට විටමින් වර්ග බහුලව ගත හැක්කේ කහ පැහැති එළවුළු පලතුරුවලින්. විටමින් වර්ග අපිට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ඇස්වල පෙනීම මනා ලෙස පවත්වාගෙන යාමට, ශෛලවල වර්ධනයට, සම නීරෝගීව තබාගැනීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා පැවැත්මට, උපකාරී වෙනවා. විටමින් සී, විටමින් ඒ ආදිය පලතුරුවලින් ලබා ගන්නට පුළුවන්.
 
මෙහිදී අඹ, වෙරළු, නෙල්ලි, පැපොල්, නාරං, දොඩම්, පේර, ඇඹරැල්ල වැනි පලතුරු ආහාරයට ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

සමබල ආහාර වේලකට අඩංගු විය යුතු දේ සඳහන් කළා සේම අපි මේ දේවල් ආහාරයට ලබාගත යුතු ප්‍රමාණයක් තිබෙනවා. ඇට වර්ග නම් පොල්කටු හැඳි දෙකක් (පීරිසියකින් එකක්) පලා වර්ග පොල්කටු හැඳි දෙකක් ආදී වශයෙන් ගන්න පුළුවන් නම් හොඳයි. පිෂ්ඨය ගත යුත්තේ අඩුවෙන්. ඒ වගේම අපි දිනකට ජලය වීදුරු හයක් අටක් අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි.
ඉහතින් දැක්වූයේ ශරීරයට අවශ්‍ය දේ. ඒ වගේම ලුනු, සීනි, තෙල් ශරීරයට අවශ්‍ය වුවත් අපි ඒවා ගත යුත්තේ අඩු ප්‍රමාණයෙන්.

මනාලියක් වීම සඳහා සූදානම් වන ඇතැම් තරුණියන්ට ඇති ලොකුම ගැටලුව තරබාරු කමයි. ඇතැම් තරුණියන් අධික ලෙස තරබාරුයි.
 
මොවුන් මුදල් වියදම් කරමින් තරබාරුව මට්ටු කරන්න නොයෙක් ආයතනවලට යනවා. නමුත් සමබල ආහාර වේලක් ලබාගන්නා ගමන් ව්‍යායාමවලත් යෙදෙනවා නම් මේ ගැටලුවට මුහුණ පාන්නට සිදුවන්නේ නැහැ. හැම විටම තරුණිය උසට සරිලන බරක් පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතුයි. එමෙන්ම තරබාරු අය තෙල් භාවිතය අවම කළ යුතුයි.

අපි දකින තවත් දෙයක් තමයි හම පැහැපත් වීමට, එහෙමත් නැත්නම් හිසකෙස් ගැලවී යාමට නොයෙක් ප්‍රතිකාර කරනවා. නමුත් හැමවිටම අලුත් එළවුළු, පලතුරු ආදිය ආහාර ගැනීමට හැකි නම් මේ ගැටලුවලින් මිදෙන්නට පුළුවන්.

වර්තමානයේ අධික තරබාරුවට හේතුවක් වෙලා තියෙන්නේ කෘත්‍රිම කෑම වර්ග ක්ෂණික කෑම හා රසකාරක යෙදූ පැණිබීම වර්ග. මෙන්න මේවායින් වැළකී පෙර සඳහන් කළ පරිදි ආහාර රටාවක් පවත්වාගෙන යනවා නම් අනාගතයේ කොලොස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගයන්ට ගොදුරු විය හැකි තත්ත්වය අවම කර ගැනීමට පුළුවන්.


එමෙන්ම අවුරුද්දකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ගැනීම සුදුසුයි.
එමෙන්ම ඇතැම් තරුණියන් කියන දෙයක් තමයි කම්මැලියි, නිදිමතයි, ඒ වගේම තමන්ට තරහා යනවා කියලා. මේ ලක්ෂණ තිබෙනවා නම් ඔවුන් තමන්ගේ ශරීරයේ අයඩින් තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. සිරුරේ අයඩින් අඩු වුණාමත් මෙවැනි ලක්ෂණ පහල වෙනවා. අයඩින් අඩු වුණාම ගලගන්ඩය රෝගය වැලඳෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

මේ සියල්ල ගැනම අවධානය යොමු කරලා සමබල ආහාර වේලක් දිනපතා ලබාගන්න ගමන් යහපත් සෞඛ්‍ය පුරුදුවලට හුරුවෙනවා නම් හෙට මනාලියක වන්නට සූදානම් වන තරුණියකගේ අනාගතය සම්පූර්ණ සුරක්ෂිතයි.
එමෙන්ම යහපත් පුරුදු හොඳ ගතිගුණ තුළින් අපට අද යෞවනියගෙන් හෙට හොඳ බිරියක්, මවක් ලැබිය හැකියි.
අද කතාබහ

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ
කාර්ය භාර හෙද නිලධාරිනී එස්.පී.අතුකෝරල
ලිව්වේ - ඉනෝකා සමරවික්‍රම

http://www.silumina.lk/2013/01/06/_art.asp?fn=as1301064

No comments:

Post a Comment