Thursday, October 17, 2013

හෙද-පරිපූරක-අතුරු වෛද්‍ය සේවා දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක


අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කොට තිබෙන සිය වෘත්තීය ඉල්ලීම් පහක් සම්බන්ධයෙන් මේ මස 30 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් රජයේ රෝහල්වල සේවයෙහි නියුතු හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව රටපුරා දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. මේ මස 21 වැනිදා වන විට තම ඉල්ලීම් ක්‍රියාත්මක තලයකට ගෙන ඒමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගතහොත් අදාළ වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ලබන දිනය එදින ප්‍රකාශයට පත්කරන බවද ඒ මහතා කීය. හෙද-පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අදාළ තීරණය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරනු ලැබීම සඳහා පෙරේදා (15දා) අනුරාධපුර, ගොඩගේ මාවතේ ක්‍රිස්ටල් පාර්ක් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.

පසුගිය කාලය පුරාම රජයේ රෝහල්වල වෘත්තීමය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති මඟින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සාධාරණය ඉටුකිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත්වීමේ ප්‍රතිඵලයක් ලෙසට වෘත්තීය අරගලයකට පිවිසීම සඳහා හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය නමින් බල මණ්ඩලයක් පවා ගොඩනැඟීමට සිදුවූ බවත් සමන් රත්නප්‍රිය මහතා කීය.

මේ අනුව හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ වෘත්තීන්වල සේවයෙහි නියුතු සියලු දෙනාට මසකට රුපියල් දස දහසක රාජකාරි බාධා හා ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම ආරම්භක ශේ්‍රණිවල අතිකාල දීමනාව, රුපියල් දෙසීයයක් දක්වා වැඩි කර ගැනීම, පළමු හා විශේෂ ශේ්‍රණිවලට මසකට රුපියල් හාරදහසක සන්නිවේදන දීමනාවක් සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 7/2007 මඟින් ක්‍රියාත්මක කළ වැටුප් සංශෝධනය නිසා අනෙකුත් සේවාවන්ට බලපා තිබෙන වැටුප් විසමතාව වහා නිවැරැදි කර ගැනීම යන යෝජනා තම බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කරනු ලැබූ බවත් ඒ මහතා කීය.

මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පසුගිය 14 වැනිදා පැවැති තීරණාත්මක සාකච්ඡාවේදී වෛද්‍ය සේවාවට සාපේක්ෂව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීමය සේවාවන් සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන මෙන් තම නියෝජිතයන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.


 http://www.mawbima.lk/86-38922-news-detail.html

No comments:

Post a Comment