Monday, October 7, 2013

කිරි දෙන අම්මලාට මතුවන ප්‍රශ්න


යූ.එල්.පී. කාරියවසම්
හෙද සොහොයුරිය,
ද සොයිසා කාන්තා රෝහල, 16 වාට්ටුව


• දරුවකු බිහිකළ සෑම මවකට මවුකිරි ලබාදිය හැකිද?
ඔව්. වයස් මට්ටම, සමාජ පසුතලය මේ සඳහා ඉවහල් වන්නේ නැත. ඔබ ළාබාල වයසේ පසුවුවද, වැඩි වයස් සීමාවක පසු වුවද, සිහින් සිරුරකට උරුමකම් කීවද දරුවාට අවශ්‍ය පමණට කිරි නිපදවීමට ඔබට හැකියාව ඇත. මේ සඳහා ඔබේ ආත්ම ශක්තිය දියුණු කරගත යුතුයි.

• පියයුරේ ප්‍රමාණය කිරි දීම සඳහා බලපෑමක් ඇතිකරනවාද?
කිසිසේත්ම නැත. පියයුරේ ප්‍රමාණයට අනුව සෑදෙන හා කිරි එරෙන ප්‍රමාණයේ වෙනසක් ඇති නොවේ. පියයුරේ ප්‍රමාණය වෙනස් වීමට බලපාන්නේ එහි තැන්පත් වන මේද පටක ප්‍රමාණයයි. එම තෙල් පටක කිරි නිෂ්පාදනයට බලපෑමක් ඇති නොකරයි.

• ගිලුණු තන පුඩු හේතුවෙන් මවුකිරි ලබාදීමට නොහැකිද?
එය සත්‍යයක් නොවේ. මේ සඳහා ගිලුණු තන පුඩුවට දරුවා සම්බන්ධ කළ යුතු ආකාරය පිළිබඳ පුරුදු පුහුණු වීම අත්‍යවශ්‍යයි. තන පුඩුව වටා ඇති ආරියෝලාවෙන් කොටසකුත් දරුවාගේ මුඛයට හොඳින් සම්බන්ධ කිරීමෙන් දරුවාට හොඳින් කිරි උරා බීමට හැකිය.

• ගිලුණු තන පුඩුව ඉදිරියට ඇද සකස් කරගන්නේ කෙසේද?
දරුවා ලැබීමට පෙර ගිලුණු තන පුඩුව සකස් කිරීමට නොහැකි බව දැන් හෙළි වී  ඇත. දරුවා ලැබුණු පසුව දරුවාට කිරි උරා බීමට සැලැස්වීම මඟින් මේ දුර්වලතාව සකසා ගත හැකිය.

• පියයුරේ කිරි නිපදවෙන්නේ කෙසේද?
ගර්භණි කාලයේදී පියයුරටත්, තන පුඩුවටත් කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. දරුවා ඉපදී වැදෑමහ ගර්භාෂයෙන් වෙන් වූ විට කිරි නිපදවීම ආරම්භ වේ. පියයුරේ කිරි නිපදවීම සඳහා මවගේ මොළයෙන් පණිවුඩයක් පියයුරට ලැබේ. මොළය මඟින් මෙම නියෝගය ලබා දෙනුයේ තන පුඩුවෙන් මොළයට ලැබෙන පණිවුඩ අනුවය. දරුවා තනපුඩුව උරන විට තනපුඩුව උත්තේජනය වෙයි. එවිට මොළයට පණිවුඩ යැවේ. දරුවා කිරි උරන සෑම අවස්ථාවකදීම මෙසේ පියයුරට කිරි නිපදවන ලෙස මොළයෙන් පණිවුඩ ලැබේ.

• පියයුරේ නිපදවන කිරි එයින් ඉවත් වන්නේ කෙසේද?
පියයුරේ නිපදවන කිරි පහසුවෙන් එයින් ඉවත් නොවේ. දරුවා නියමාකාරයෙන් කිරි උරා බොන විට පියයුරෙන් පහළට ගලා එයි. දරුවා කිරි උරා බොන සෑම විටකටම පියයුරෙන් මවගේ මොළයට පණිවුඩ නිකුත්වේ. ඉන්පසු මොළයෙන් නිකුත් කෙරෙන නියෝග මඟින් පියයුර තුළ ඇති කිරි ඒවා නිපදවන සෛල මඟින් තනමඬල දෙසට ගලා ඒම සලස්වයි. එවිට දරුවාගේ මුඛය තුළට ගලා යනුයේ එහි එකතුවන කිරි පමණකි.

මොළයෙන් දෙන පණිවුඩ අනුව පියයුරු දෙකෙන්ම කිරි නිපදවේ. දරුවා එක් පියයුරකින් කිරි උරා බොන විට අනෙක් පියයුරෙන්ද කිරි පිටතට ගලා එයි.

• දරුවා පියයුරට නිවැරැදිව සම්බන්ධ කරන්නේ කෙසේද?

මෙය දරුවාට පමණක් තනිවම කළ හැක්කක් නොවේ. මේ සඳහා මවගේ සම්පූර්ණ සහයෝගයම දරුවාට අවශ්‍ය වේ. දරුවා නිවැරැදිව පියයුර දෙසට යොමු කළ පසු තනපුඩුව දරුවාගේ යටිතොලේ ස්පර්ශ කරන්න. එවිට දරුවා මුඛය විවර කරයි. එක් වරක් පමණක් මෙසේ කළ පමණින් දරුවා තම මුඛය විවර නොකරයි. දරුවා හොඳින් කට අරිනතුරු තනපුඩුව දෙතුන් වරක් ස්පර්ශ කිරීමට තරම් මව ඉවසිලිවන්ත විය යුතුයි. මුඛය හොඳින් ඇරුණු පසු දරුවා ඉක්මනින් පියයුරට ගෙනයන්න. නමුත් පියයුර ඇඟිලි දෙකකින් අල්ලා මුඛය තුළට ඇතුළු කිරීමට කිසිවිටෙක තැත් නොකරන්න. එවිට දරුවා තන පුඩුව පමණක් කටට ගනී.

• කොපමණ වේලාවක් දරුවාට කිරි දිය යුතුද?
දරුවාට කිරි දීම සඳහා කාල වේලාවක් අවශ්‍ය නොවේ. එක් කිරි වේලෙන් වේලට කාලය වෙනස් විය හැකිය. දරුවකුගෙන් දරුවකුටද කාලය වෙනස් විය හැකිය. දරුවා හරියාකාරව පියයුරට සම්බන්ධ වී ඇත්නම් කොපමණ වේලාවක් දරුවා කිරි උරා බිව්වද තනපුඩුව තුවාල නොවේ. නමුත් දරුවා එක් පියයුරක් විනාඩි 30කට වඩා උරමින් සිටී නම් දරුවා නිසියාකාරව, නිවැරැදි අයුරින් පියයුරට සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලිය යුතුය.
දරුවා කිරි බීමෙන් සෑහීමකට පත්වී ඔහු විසින්ම පියයුර අත්හරින තුරු කිරි බීමට ඉඩ හරින්න. විනාඩි 15ක් පමණ එක් පියයුරකින් කිරි උරාබීමට සලස්වන්න.
පියයුරෙන් මුලින් එරෙන කිරිවල වැඩිපුර ඇත්තේ ජලයයි. එකම කිරි වේලක පසුව එන කිරිවල ශක්තිය (තෙල්) අඩංගුය. දරුවාගේ බර වැඩිවීම සඳහා මෙම පසුකිරි අවශ්‍ය වේ. එම නිසා එක් පියයුරකින් වැඩි වේලා කිරි දීමටත් අනෙක් වරට අනෙක් පියයුරෙන් කිරි දීමත් කළ යුතුය.

• කිරි වේලකට පෙර පියයුර සේදිය යුතුද?
සෑම කිරි වේලකටම පෙර පියයුර සේදීම හානිකර විය හැකිය. එවිට පියයුරේ මතුපිට සම ආරක්‍ෂා කරන තෙල් තට්ටුවම විනාශ වී යා හැකිය. එමඟින් සම වියළි වී තුවාල ඇතිවිය හැකිය. ආගන්තුක සබන් වර්ග මෙන්ම සුවඳ දරුවා පියයුර අත්හැරීමට හේතුවක් විය හැකි නිසා ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. සෑම කිරි වේලකටම පෙර පියයුර සේදීමට වඩා දෑත් සබන් දමා සෝදා ගැනීම ඉතා වැදගත්ය.

• මවුකිරි දෙන මවක් වැඩිපුර ආහාර පාන ගැනීම අවශ්‍යද?
ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව වැඩිපුර ආහාර වේල් ප්‍රමාණයක් මවුකිරි දෙන මවකට අවශ්‍යය. එසේ ගත යුතු වන්නේ ඔබගේ පෝෂණය වැඩිකර ගැනීමටත් හොඳින් ශරීර සෞඛ්‍ය රැක ගැනීම සඳහාත්ය. එමඟින් මවගේ කිරි ප්‍රමාණයෙහි වැඩිවීමක් සිදු නොවේ.


සවනි ශේශාධි හර්ෂා

http://www.mawbima.lk/81-37874-news-detail.html
 

No comments:

Post a Comment