Saturday, October 26, 2013

පිළිකා රෝගී කිරිසප්පයන්ගේ ජීවිතවලින් ජාවාරම් කරන ඖෂධ මාෆියාවේ ලේ මාපිල්ලු

 බෙහෙත් පෙත්තක්‌, එන්නතක්‌ පාවිච්චි නොකළ කෙනෙක්‌ සිටීනම් එය විශ්මය දනවන්නකි. බෙහෙත්, එන්නත් ඒ තරමට මිනිස්‌ ජීවිතය හා සම්බන්ධවී තිබේ. අප මේ කතා කරන මොහොතේ අපේ රට තුළ කී දෙනෙක්‌ බෙහෙත්, එන්නත් නැතිනම් ඖෂධ භාවිත කරනවා ඇත්ද? දිනකට පාවිච්චියට ගන්නා ඖෂධ ප්‍රමාණය කොතරම්ද?

ඖෂධ ඒ තරමටම මිනිසාට වටිනා දෙයකි. ඇතැමුන් ජීවත්වන්නේ ඖෂධ නිසාය. එමෙන්ම තවත් අයගේ ජීවනෝපාය මාර්ගයද ඖෂධය. ඖෂධ වෙළෙඳාම තරම් ලාභදායි ව්‍යාපාරයක්‌ තවත් නැති තරම්ය. ඖෂධ අලෙවිය මාෆියාවක්‌ බවට පත්ව ඇත්තේද ඒ තරම් මුදල් උපයන මාර්ගයක්‌ තවත් නැති නිසාය. කොටින්ම ලෝකය මේ වනවිට නතු කරගෙන ඇති මනුෂ්‍ය ජීවිතයට සෘජු ලෙස සම්බන්ධ මාෆියා දෙක ඖෂධ මාෆියාව හා ආයුධ මාෆියාවය.

අපේ රටට ඖෂධ ගෙන්වන සමාගම් එම ඖෂධ රජයට අලෙවි කරති. රජය වෙනුවෙන් මේ ඖෂධ මිලට ගන්නේ වෛද්‍ය සැපයීම් අංශය විසිනි. ඖෂධ මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයීම් අංශය වෙත පැවරී තිබෙන වගකීම සුළුවෙන් තැකිය නොහැකිය. මිලට ගන්නා ඖෂධයේ ප්‍රමිතිය, ගුණය වටිනාකම ඇතුළු පිරිවිතරයන් කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය. ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ඉහළ ගුණයෙන් යුත් ඖෂධ පමණක්‌ නොව වෛද්‍ය උපකරණ පවා අඩු මිලට ලබා ගැනීම වෛද්‍ය සැපයීම අංශයේ වගකීමකි. ඒ රෝගීන් වෙනුවෙන් මිලට ගන්නා ඖෂධ වෙනුවෙන් රජය ගෙවන්නේද ජනතාවගේම මුදල් නිසාවෙනි. එහෙත් රජය විසින් මිලට ගන්නා ඖෂධ පිළිබඳ කලක සිට අපට අසන්නට ලැබෙන්නේ එතරම් යහපත් පුවත් නොවේ. වීදුරු කටු සහිත එන්නත් කුප්පි ගැන විටෙක ඇසිනි. අපද්‍රව්‍ය සහිත සේලයින් බෝතල් ගැන තොරතුරු ලැබිණි. රජය එසේ නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන දේශීය මෙන්ම විදේශීය සමාගම්ද අසාදු ලේඛනගත කළ බවට නිවේදන නිකුත් කෙරිණි. එහෙත් කෙටි කලකදී ඒ සමාගම් විසින්ම යළිත් බෙහෙත් ගෙන්වති. කලක්‌ ශල්‍ය අත්වැසුම් මිලට ගැනීම පිළිබඳවද විශාල ආන්දෝලනයක්‌ පැවැති අතර මේ ඖෂධ මාෆියාව නිසා තමාගේ ජීවිතයට පවා තර්ජන එල්ලවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා විටින් විට ප්‍රකාශ කළේය.

මේ සියල්ල අතර ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වූ සේනක බිබිලේ ප්‍රතිපත්තිය නීතිගත කරන බවට වසර ගණනාවක සිට බලධාරීහු කතා කරති. රජයේ රෝහල්වලට රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ මිලට ගන්නා තාක්‍ෂණික ඇගයුම් කමිටුවට වසර විස්‌සකට ආසන්න කාලයක්‌ තිස්‌සේ එකම ජීවවිද්‍යා ඉංජිනේරුවරයකු පමණක්‌ සහභාගි වීමේ විශ්මිත පුවතක්‌ අනාවරණය වන්නේද මෙසේ ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන ඉතා ඕනෑකමකින් කතා කරන පසුබිමකදීය. වසර පහක්‌ ලියාපදිංචිය නොගත් ඖෂධ සමාගමක්‌ සෞඛ්‍ය අධිකාරිවරයාගේ අත්සන හොරට යොදා නව වසර සඳහා ලියාපදිංචිය ඉල්ලා පසුව ඒ වංචාව හෙළි වන්නේද පෙරකී පසුබිම තුළදීය.

වංචා කරමින් අපකීර්තිය විඳදරා ගනිමින් මේ ඖෂධ සමාගම් මේ නිරුවත් රංගනයේ යෙදෙන්නේ අහිංසක රෝගීන්ට ඇති ආදරය නිසා යෑයි සිතන්නට නම් අප ඔල්මොරොන්දම් විය යුතුය.

රෝගී වූ කල ඕනෑම කෙනෙක්‌ අසරණ වෙති. රෝගියා පමණක්‌ නොව ඔහුගේ පවුලේ අයද අසරණ වෙති. රෝගය දරුණු වෙද්දී මාරාන්තික වෙද්දී, මේ අය තව තවත් අසරණ වෙති. සියලු සේසත විකුණා හෝ රෝගියා ගොඩදා ගැනීමට මේ අසරණයෝ වළිකති.

මේ අසරණකම දඩමීමා කරගෙන කල දුටු කල වළ ඉහගන්නට වසළයෝ පිරිසක්‌ බලා සිටිති. හිතූ හිතූ ගණන්වලට රජයට ඖෂධ විකූණා තම මඩිය තරකර ගන්නට සැරසෙන ඇතැම් වසළ ඖෂධ මාෆියාකාරයෝ සමස්‌ත ඖෂධ වෙළෙඳාමම සිය ග්‍රහණයට හසු කර ගනිමින් සිටිති.

අපි අසරණ වන රෝගීන් ගැන කීවෙමු. මේ අය අතුරින් පිළිකාවට ගොදුරු වූවෝ අසරණ බවේ අන්තයටම පැමිණ සිටින්නේය. මහරගම පිළිකා රෝහලට යන ඕනෑම අයෙකුට ජීවිතය යනු අනිත්‍යයක්‌ම බව වටහා ගැනීමට වැඩි වේලාවක්‌ ගත නොවේ. පිළිකාවට ගොදුරුව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දකිද්දී කඳුළින් තෙත් නොවන දෑසක්‌ තිබේද?

මේ අහිංසක දරු පැටවුන්ට ජීවිතයේ තවත් එක දවසක්‌ හෝ ලබා දෙන්නට අවංකව සිතන ඖෂධ ව්‍යාපාරිකයෝ වෙති. එමෙන්ම එවන් ව්‍යාපාරිකයන් ඖෂධ වෙළෙඳපොළෙන් තුරන් කර දැමීමට කුමන්ත්‍රණ දියත් කරන ඖෂධ මාෆියාකරුවන්ද සිටී.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට ලබාදෙන එන්නත් ජාවාරමක්‌ පිළිබඳ වූ පුවතක්‌ පසුගිය දිනවල මාධ්‍ය ඔස්‌සේ අනාවරණය විය.

දැන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද මෙම විමර්ශන භාරදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි පැවැසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ලැබී ඇති නිර්නාමික පෙත්සමක්‌ මගින් මෙම ජාවාරම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙය ඖෂධ සමාගම් දෙකක්‌ අතර ඇති ගැටුමක්‌ නිසා එක්‌ සමාගමක්‌ තවත් සමාගමකට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක කොටසක්‌ බවද පැවැසේ.

ලියුකේමියාව නැතිනම් ලේ පිළිකාව වැළඳුන කුඩා දරුවන් රැසක්‌ මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබති. "ඔන්කැස්‌පර්" (ධබජ්sච්ර) මේ දරුවන්ට ලබා දෙන එන්නතකි. මෙම එන්නත වෛද්‍ය සැපයීම් අංශය වෙත අළෙවි කරන්නේ පෞද්ගලික ඖෂධ සමාගම් දෙකක්‌ විසිනි. මොවුන් වෛද්‍ය සැපයීම් අංශය හරහා මහරගම පිළිකා රෝහලට ලබාදෙන මෙම එන්නත එකම වර්ගයේ, එකම වෙළෙඳ නාමය ඇති, එකම ආයතනයක නිෂ්පාදනය කරන්නකි. ටෙන්ඩර් ඉදිරිපත් කරමින් " ඔන්කැස්‌පර්" අලෙවි කිරීමට සමාගම් දෙකට අවසර ලැබී ඇත.

එහෙත් මේ එකම ඖෂධය මේ සමාගම් දෙක විසින් රජයට අලෙවි කරනුයේ මිල ගණන් දෙකක්‌ යටතේය. එක්‌ සමාගමක්‌ මෙම එන්නත අලෙවි කරනුයේ එකක්‌ රුපියල් 2,37,000 ක මිලකටය. අනෙක්‌ සමාගම එය රුපියල් 3,25,000 ක මිලකට රජයට සපයයි. එකම ඖෂධය මිල ගණන් දෙකක්‌ යටතේ රජය විසින් මිලදී ගැනීම පිළිබඳව වෙනම පරීක්‍ෂණයක්‌ කළ යුතු වුවත් මෙතෙක්‌ එවැන්නක්‌ ගැන දැන ගන්නට නැත.

කෙසේ වෙතත් වැඩි මිලට ඔන්කැස්‌පර්" අලෙවි කරන සමාගම මේ වන විට එන්නත් 32 ක්‌ රජයට අලෙවි කර ඇත. ඒ අනුව ඔවුන් අනෙක්‌ සමාගමට වඩා රුපියල් අසූ අට දහසක්‌ බැගින් එන්නත් කුප්පි 32 ක්‌ සඳහා රුපියල් විසි හතර ලක්‍ෂ පනස්‌ එක්‌ දහසක පමණ මුදලක්‌ වැඩිපුර ලබා ගෙන තිබේ. මේ වන විට ඔවුන් විසින් වැඩි මිලට අලෙවි කිරීම සඳහා තවත් මෙවැනි එන්නත් කුප්පි පනහකට ආසන්න ප්‍රමාණයක්‌ ගෙන්වා ගබඩාකර ඇතැයිද අනාවරණය වේ.

මේ අතර අඩු මිලට "ඔන්කැස්‌පර්" එන්නත රජයට අලෙවි කරන සමාගම මේ වනවිට එන්නත් කුප්පි 31 ක්‌ වෛද්‍ය සැපයීම් අංශය වෙත අලෙවි කර ඇත. ඊට අමතරව ඔවුන් තවත් එන්නත් කුප්පි හතරක්‌ පෞද්ගලිකවම රෝගීන් වෙත ලබාදී ඇති අතර තවත් එන්නත් කුප්පි හතරක්‌ නොමිලේ මහරගම පිළිකා රෝහල වෙත සපයා ඇත.

ඕනෑම ව්‍යාපාරිකයෙක්‌ වෙළෙඳපොළ තුළ තම ඒකාධිකාරය පවත්වාගෙන යැමට කැමැත්තක්‌ දක්‌වයි. ඖෂධ ව්‍යාපාරිකයන්ද එසේමය. එකම ඖෂධය තමන්ට වඩා අඩු මිලට අලෙවි කරන ව්‍යාපාරිකයෙක්‌ ක්‍ෂේත්‍රයේ සිටී නම් ඔහු වෙළෙඳපොළෙන් ඉවත් කර තමන්ගේ ඖෂධය වැඩි මිලට අලෙවි කිරීමට විවිධාකාර කුමන්ත්‍රණ දියත් කරන ඖෂධ ජාවාරම්කරුවෝද සිටිති. ඒ ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන එක්‌ ක්‍රමයකි. ලියුකේමියාවෙන් පෙළෙන දරුවන්ට "ඔන්කැස්‌පර්" නමැති එන්නත අඩු මිලට අලෙවි කරන ඖෂධ සමාගමට එරෙහිවද ක්‍රියාත්මක වන්නේ මෙවැනි කුමන්ත්‍රණයක්‌ නොවේ යෑයි සිතිය හැකිද?.

මේ සමාගම විසින් නොමිලේ පිළිකා රෝහලට ලබා දුන් එන්නත් කුප්පි මෙතෙක්‌ රෝගී දරුවන් වෙනුවෙන් භාවිත කර නැත. ඒ මේ සමාගමට එරෙහිව පරීක්‍ෂණ පවත්වන නිසාය. වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙම සමාගමෙන් මිලට ගන්නා " ඔන්කැස්‌පර්" එන්නත් මහරගම පිළිකා රෝහලට සැපයූ පසු යළිත් එම සමාගමට වෙනම වෙනත් මාර්ගයකින් එම එන්නත් ලබා දීමේ ජාවාරමක්‌ ඇතැයි පවසන පෙත්සමක්‌ ඔස්‌සේ මෙම පරීක්‍ෂණය සිදු කෙරේ.

මෙම පරීක්‍ෂණය නිසා වටිනා එන්නත් කුප්පි කිහිපයක්‌ දරුවන් වෙනුවෙන් භාවිත නොකර පසෙක තබා ඇත. ඒවා අදාළ සමාගම විසින් නොමිලේ සැපයූ එන්නත්ය. දැන් එම එන්නත් කුප්පිවල කාලය ඉකුත් වීමටද ආසන්නය.

සාමාන්‍යයෙන් ඕනෑම ඖෂධයක්‌ වෛද්‍ය සැපයීම් අංශයට අලෙවි කළ පසුව භාණ්‌ඩ ලබා ගැනීමේ රජය පිළිගත් ක්‍රමවේදය අනුව කටයුතු කෙරේ. ඖෂධයේ ප්‍රමාණය, නිවැරදි ලාංඡන පිළිබඳ පරීක්‍ෂණ කර එම පිරිවිතයන් අනුකූල නොවන්නේ නම් වෛද්‍ය සැපයීම් අංශය විසින් අදාළ ඖෂධය ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

මේ පිරිවිතරයන්ට අනුකූල බැවින් වෛද්‍ය සැපයීම අංශය විසින් අඩු මිලට අදාළ සමාගමෙන් " ඔන්කැස්‌පර්" මිලට ගෙන මහරගම පිළිකා රෝහලට යවා ඇත. මහරගම පිළිකා රෝහලද අදාළ එන්නත් කුප්පි ලද පසු එහි ලේබලය මත සිය රෝහලේ මුද්‍රdව යෙදීම සිදු කරයි. ඉන් පසු එම මුද්‍රdව සහිත ඖෂධ බාහිර කිසිම ස්‌ථානයක අලෙවි කළ නොහැකිය.

පිළිකා රෝහලට වෛද්‍ය සැපයීම් අංශය විසින් ලබා දුන් පසුව රෝහලේ මුද්‍රdවද තැබූ එන්නත් කුප්පි යළිත් එම සමාගම විසින් ලබාගෙන වෛද්‍ය සැපයීම් අංශයට නැවතත් අලෙවි කරන්නේ කෙසේද? මහරගම පිළිකා රෝහලේ මුද්‍රdව සහිත එන්නත් කුප්පි වෛද්‍ය සැපයීම අංශය විසින් යළිත් මිලට ගත්තා නම් වරදකරුවා කව්ද? මෙම එන්නත් කුප්පි ඉතා ස්‌වල්ප ප්‍රමාණයක්‌ පමණක්‌ මිලට ගන්නා බැවින් වෛද්‍ය සැපයීම් අංශයට ඒවා එකින් එක පරීක්‍ෂා කිරීමේ අපහසුවක්‌ නැත. එම නිසා මෙම සමාගමට එරෙහිව කරන චෝදනාව පිළිගත හැකිද? අඩු මිලට ඖෂධ සපයන සමාගමකට එරෙහිව වැඩි මිලට ඖෂධ සපයන ව්‍යාපාරික මාෆියාවේ කුමන්ත්‍රණයක්‌ වන්නට බැරිද? ඒ පිළිබඳ ස්‌ථීර අදහසක්‌ ප්‍රකාශ කිරීමට නොහැකි මුත් සාධාරණ විමර්ශනයකදී සත්‍ය හෙළිවීම වැළැක්‌විය නොහැක.

අපි මේ පිළිබඳව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතාගෙන්ද විමසීමක්‌ කළෙමු.

පිළිකා රෝහලේ ලියුකේමියාව වැළඳුණු දරුවන් එකසිය විසි දෙනෙක්‌ විතර ඉන්නවා. ඒ අතුරින් කිහිප දෙනෙකුට තමයි ඔය ඔන්කැස්‌පර් එන්නත ලබා දෙන්නේ. අපේ රෝහලට වෛද්‍ය සැපයීම් අංශය මාර්ගයෙන් වැඩි මිලකට සහ අඩු මිලකට මේ එන්නත සමාගම් දෙකක්‌ විසින් අලෙවි කරනවා. අඩු මිලට බෙහෙත් සපයන සමාගම රුපියල් හත්ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වටිනා එන්නත් තොගයක්‌ නොමිලේ රෝහලේ ඖෂධවේදීන් වෙත ලබා දී තිබෙනවා රෝගීන්ට භාවිත කරන්න කියලා. ඒත් විමර්ශනය නිසා මේ බෙහෙත් දරුවන්ට ලබා දෙන්න නොහැකිව තිබෙනවා. බෙහෙත භාවිත කර හිස්‌ කුප්පි විතරක්‌ මේ විමර්ශනයට යොදා ගන්න බැරි ඇයි?

කෙසේ වෙතත් රජයට අඩු මිලට ඖෂධ සපයන සමාගම් වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ කලක සිට ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙයද එහි එක්‌ දිගුවක්‌ විය හැකිය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වංචාව, දූෂණය පිටුදකින ඖෂධ මාෆියාවට එරෙහිව අත් ඔසවන ඇමැතිවරයෙකි. එම නිසා ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණවලින් අවංක ඖෂධ ව්‍යාපාරිකයන් රැකගැනීම ඇමැතිවරයා හමුවේ ඇති අභියෝගයකි.


අජිත් අලහකෝන්




http://www.divaina.com/2013/10/27/nimna01.html

No comments:

Post a Comment