ඒමන්ති මාරඹේ
රජයේ රෝහල්වලට ශල්‍ය අත්වැසුම් ගෙන්වීමේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින කනිෂ්ඨ වෛද්‍යවරයකු විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාට අපහාසාත්මක අයුරින් බැණ වැදීමේ සිද්ධිය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කිරීමට දූෂණ විරෝධී සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
අදාළ සිද්ධිය පිළිබඳ අද (6 දා) දිනයේ තම සංගමයේ රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී ඒ සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන බවත් දූෂණ විරෝධී සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට බැණ වැදීම පසුගිය සතියේදී සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා වසර 12 ක් මුළුල්ලේ රජයේ රෝහල්වලට ශල්‍ය අත්වැසුම් සැපයූ මැලේසියානු සමාගමට ටෙන්ඩරය ලබා නොදෙන ලෙසට ශල්‍ය වෛද්‍යවරුන්ට බලපෑම් කර තම හිතවත් ඖෂධ සමාගමකට එම ටෙන්ඩරය ලබාගැනීමට කටයුතු යොදා ඇති අතර එයට එරෙහි වූ විටදී ඔහු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට බැණ වැදී ඇතැයි වාර්තා වේ.
මේ අනුව මෙතෙක් රුපියල් 20 ක් බැගින් වූ මිලකට ශල්‍ය අත්වැසුම් යුගලක් සැපයූ මැලේසියානු සමාගමෙන් අත්වැසුම් මිලදී නොගෙන දේශීය ඖෂධ සමාගමකින් රුපියල් 45 බැගින් වැඩි මිලකට ප්‍රාදේශීය මිලදී ගැනීම් (ලෝකල් පවස්) යටතේ ශල්‍ය අත්වැසුම් මිලදී ගැනීමට එම නිලධාරියා කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පැවැසීය.
මේ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය ඇමැතිවරයා වෙත පැමිණිලි කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතර රජයේ රෝහල්වල ශල්‍ය අත්වැසුම් හිඟය තවමත් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
Divaina 2012.01.06
No comments:
Post a Comment