Monday, July 16, 2012

අනුරපුර රෝහලේ හෙද වර්ජනයක්‌


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අවිවාහක කාන්තා හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල නේවාසිකව සිටින සෑම හෙද නිලධාරිනියකගේම මාසික වැටුපෙන් රුපියල් අටසියයක්‌ බැගින් විදුලි ගාස්‌තුවක්‌ අයකිරීමට විරෝධය පළකරමින් එම රෝහලේ හෙද කාර්ය මණ්‌ඩල ඊයේ (16 දා) පෙරවරුවේ සිට වැඩවර්ජනයක්‌ ආරම්භ කර තිබේ.

මේ නිසා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, පිsළිකා සහ ළමා වාට්‌ටු හැර අනෙකුත් සියලුම වාට්‌ටු සහ ප්‍රතිකාර ඒකකවල සේවාවන් අඩාල විය.

මේ හේතුවෙන් රෝගීන් විශාල පිරිසකට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවිය.

එම රෝහලේ අවිවාහක කාන්තා හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල එක්‌ කාමරයක හෙදියෝ දෙදෙනා බැගින් නේවාසිකව සිටිති. ඒ සෑම අයකුගෙන්ම අසාධාරණ ලෙස මාසික වැටුපෙන් රුපියල් අටසියයක්‌ බැගින් විදුලි ගාස්‌තුවක්‌ අයකරන බවත් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ අනුරාධපුර ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක අනුර දිසානායක මහතා "දිවයින" ට පැවසීය.

2010 වර්ෂයේ සිට පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කර විසඳුමක්‌ ලබාගැනීමට උත්සාහ කළද, ඊට මේ දක්‌වා නිසි විසඳුමක්‌ නොලැබීම නිසා මෙලෙස වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද හෙතෙම කීය.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සුබවාදී විසඳුමක්‌ නොලදහොත් අඛණ්‌ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවත් අනුර දිසානායක මහතා කීවේය.

මේ පිළිබඳව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මෙනවියගෙන් කළ විමසුමකදී කියා සිටියේ හෙද වැඩවර්ජනය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන්වලට බාධා එල්ල වී ඇති බවයි.

හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල විදුලි බිල්පත්වල මාසික එකතුව එම නිවාසවල නේවාසිකව සිටින අය අතර බෙදා අය කරගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමත්‍යාංශය මගින් චක්‍රලේඛයක්‌ එවා ඇති බවත් ඒ අනුව ඔවුන්ගෙන් මාසිකව රුපියල් අටසියය බැගින් විදුලි ගාස්‌තුවක්‌ අයකරන බවත් ඇය වැඩිදුරටත් කීවාය.

http://www.divaina.com/2012/07/17/news14.html

No comments:

Post a Comment