Thursday, July 19, 2012

ලියාපදිංචිය අවලංගු කළ විදේශීය වෛද්යhවරුන්ගෙන් බලධාරීන්ට බලපෑම්

 

ඒමන්ති මාරඹේ

වෛද්‍ය සේවයේ යෙදීමේ සුදුසුකම් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ මෙරට පෞද්ගලික රෝහල්වල සේවය කළ විදේශීය වෛද්‍යවරුන් 18 දෙනකු නැවත ලියාපදිංචිය ලබාගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් එල්ල කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සුදුසුකම් නොමැති බව තහවුරු වූ මෙම විදේශීය වෛද්‍යවරුන්ගෙන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් බව ද සංගමය කියයි. මේ වන විට විදේශීය වෛද්‍යවරු 184 දෙනකු මෙරට සේවය කරන අතර ඔවුන් අතර ද සුදුසුකම් නොමැති වෛද්‍යවරු බොහෝ දෙනකු සිටින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

මෙරට සේවය සඳහා පැමිණෙන විදේශීය වෛද්‍යවරුන් තාවකාලික ලියාපදිංචිය ලබාගත්ත ද එහිදී ඔවුන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කිරීමේ පිළිගත් ක්‍රමවේදයක්‌ මෙතෙක්‌ නොතිබීම නිසා සුදුසුකම් නොමැති වුවද මෙහි රෝගී ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යැමට ඔවුන්ට හැකි වූ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

එහෙත් එවැනි පිළිගත් ක්‍රමවේදයක්‌ සකස්‌ කරන ලෙසට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් එවැනි ක්‍රමවේදයක්‌ එළිදක්‌වා තිබීම නිසා සේවයේ යෙදී සිටින හා සේවයට බැඳීමට සූදානමින් සිටින විදේශීය වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කර බැලීමට හැකිවී ඇතැයි වෛද්‍ය පාදෙනිය කීවේය.

කිසිදු සුදුසුකමක්‌ නොමැති විදේශීය වෛද්‍යවරුන් මෙරට රෝහල්වල සේවය කිරීම හරහා ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගී ජනතාවගේ ජීවිත පවා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දුන් හෙතෙම ඒ ආකාරයෙන් එක්‌තරා පෞද්ගලික රෝහලක විදේශීය වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලැබූ 7 දෙනකු රෝගාතුරව රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි අවධාරණය කළේය. කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (17 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.


http://www.divaina.com/2012/07/18/news25.html

No comments:

Post a Comment