Sunday, July 15, 2012

දොස්තරලාගෙන් ලෙඩ්ඩුන්ව බේරාගන්න දියත් වුන දොස්තරලාගේ මෙහෙයුම




යථාවබෝධය උපදින්නේ සජීවී අත්දැකීම් ඇසුරෙහිදීය. ලෝකය යහපත් තැනක්‌ බවට පත්වූයේ එවැනි අත්දැකීම් ලද සංවේදී මිනිසුන් දියත් කළ සමාජ අරගලයන්හි ඵලයක්‌ ලෙසය. මේ කෙටි ලියෑවිල්ල ලියනුයේ එවැනි කතිකාවක සොඳුරු හඬක්‌ ඇසෙමින් තිබෙන මොහොතකය. මේ සංවාදය උපදින්නේ අපේ රටේ වෛද්‍ය ක්‌ෂේත්‍රයේ වෛද්‍යවරුන් පිරිසක්‌ අතරිනි. එ සඳහා වූ නිමිත්තක්‌ ලෝක මට්‌ටමින්ම මතුව පැමිණ තිබුණේය.

අනූව දශකයේ අග භාගයේ දී අමෙරිකා එක්‌සත් ජනපදයේ වෛද්‍ය ආයතනය හා හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් තම රටේ වෛද්‍ය සේවාවන් ගැන සමීක්‌ෂණයක්‌ කරනු ලැබුවේය. ඉන් ප්‍රකාශිත ප්‍රතිඵල රටේ වෛද්‍යවරු හා සෞඛ්‍යය සම්බන්ධ ආයතන මතුනොව මුළු මහත් ලෝකයම කම්පනයට පත් කරන්නට සමත් විනි. ඉන් කියෑවුනේ වෛද්‍ය හා සමස්‌ත සෞඛ්‍ය සේවාවන්ගේ වරද නිසා පමණක්‌ වසරකට රෝගීන් විසි දහසත් හතලිස්‌ අට දහසත් අතර ප්‍රමාණයක්‌ අමෙරිකාවේදී මරණයට පත්වන ආකාරයයි. මීට සමගාමීව ඕස්‌ටේ්‍රලියාව, එක්‌සත් රාජධානිය, කැනඩාව ඇතුළු දියුණු වෛද්‍ය පහසුකම් සහිත යුරෝපීය රටවල කළ පරීක්‌ෂණවලින් හෙළිවූයේ මීට නොදෙවෙනි ප්‍රතිඵලයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පසුව තම නිරීක්‌ෂණ ඉදිරිපත් කළේය. ඔවුන්ට අනුව ලෝකයේ සෑම රෝගීන් දහදෙනෙකුගෙන්ම අයෙක්‌ සෞඛ්‍ය සේවා පද්ධතියේ සිදුවන අත්වැරදීම් හෝ නොසලකා හැරීම් නිසා පීඩාවට පත්වන්නේය.

මිනිසුන් පිළිබඳ වගකීමක්‌ සහිතයෑයි කියන, මිනිසුන් පිළිබඳ ගෞරවයක්‌ ඇතැයි කියන විශිෂ්ට මට්‌ටමේ වෛද්‍ය පහසුකම් සහිත දියුණු යුරෝපීය රටවල තත්ත්වය මෙය නම් මේ දත්ත අපේ අත්දැකීම් අනුව අපට ගලපාගන්නට උත්සාහ කිරීම සිරුරේ රෝමකූප පවා කෙලින් කරන තරම් බිය උපදවනසුළුය. අඩුම ගණනේ අපේ වෛද්‍ය සේවය තුළ රෝගියෙක්‌ මිය යන්නේ කෙසේද?, කාගේ වරදින්ද?, සිදුවූයේ කුමක්‌ද යන්න පිළිබඳවවත් බොහෝ අවස්‌ථාවල නිශ්චිත පැහැදිලි කිරීම් නැත. රෝහලකදී හෝ වෛද්‍ය සේවා සපයන ඕනෑම තැනකදී රෝගියකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන වැරදි යටපත් කිරීමට ඒ සේවා සපයන්නන් කොන්දේසි විරහිතව සංවිධානය වන ආකාරය පිළිබඳ අපට කොතෙකුත් අත්දැකීම් තිබේ. අපේ වෛද්‍යවරුන් පිරිසක්‌ මිනිසුන් වෙනුවෙන් නව සංවාදයක්‌ උපදවන්නට උත්සාහ කරන්නේ මෙවැනි පසුබිමකදීය.

මේ කතිකාව ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගිනි. පවුලේ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම ආචාරධර්ම හා මානවහිතවාදී ගුණධර්ම අගය කරනු ලබන එක්‌තරා ආකාරයක පාරමිතාවක්‌ වැනි කටයුත්තකි. ඒ සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් වෙනුවෙන් පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් පවත්වනු ලබන ඩිප්ලෝමාවක්‌ තිබේ. එය පශ්චාත් උපාධි දක්‌වා වර්ධනය කරගත හැකි දැනුමකි. සමාජය හා ගැටෙමින් ඒ තුළ කිමිදෙමින් සමාජීය මිනිසෙක්‌ ලෙස රෝගීන් සමග පුද්ගලිකව ගනුදෙනු කරනු ලබනා මේ වෛද්‍යවරු අද සෞඛ්‍ය ක්‌ෂේත්‍රයෙන් සමාජය සිදුවන ආරවුල අත්විඳිති. එබැවින් ඔවුහු රෝගියෙක්‌ විසින් තම වෛද්‍යවරයා තෝරා ගැනීමේදී අනුදතයුතු කරුණු පිළිබඳවත්, වෛද්‍යවරයාට නිවැරදි ප්‍රතිකාර කිරීම සඳහා රෝගියා පිළිපැදිය යුතු කාරණා පිළිබඳවත් පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හරහා සමාජය දැනුවත් කරනු ලබති.

රෝගියෙකු විසින් තම වෛද්‍යවරයා තෝරාගැනීමේ දී සැලකිය යුතු කරුණු ලෙස ඔවුහු මෙම කරුණු පෙළගස්‌වති.

ඔබ තෝරා ගන්නා වෛද්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටීද?, ඔබට කරුණාවන්තද? ඔබට ඇහුම්කන් දී ඔබේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙනවාද? කාර්ය බහුල විට දී පවා ඔබට සුවපහසුව සපයනවාද?, ඔබේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වන අතර ඔබේ රෝගී තත්ත්වය පිළිබඳව අර්ථවත් සාකච්ඡාවක්‌ සඳහා ප්‍රමාණවත් කාලයක්‌ යොදනවාද?, ඔබේ සුවය සඳහා ගත යුතු පියවර පිළිබඳව ඔබ දැනුවත් කරනවාද?, අදාළ උපදෙස්‌ දී බෙහෙත් වට්‌ටෝරු පැහැදිලි අකුරින් ලියා, බෙහෙත්වල ගුණාගුණ සහ ඒවායේ අතුරු විපාක කියා දෙනවාද?, ඔබේ රෝගයට ගැලපෙන සේවාවක්‌ ඔබට දැරිය හැකි මිලකට ලබා දෙනවා ද?, ඔබේ රෝගය සමනය කිරීමට අපහසු වූ විට ඒ සඳහා සුදුසු වෙනත් වෛද්‍යවරයෙකුට අදාල සේවාවකට හෝ රෝහලකට ඔබව ලිපියකින් යොමු කරනවාද?, යම් වැරදීමක්‌ සිදු වූ විට ඔබව වහා ම දැනුවත් කරනවාද?, හදිසි අවස්‌ථාවක දී සම්බන්ධ කර ගත හැකිද? යනු ඒ කාරණාවන්ය.

එමෙන්ම රෝගියා සම්බන්ධයෙන්ද ප්‍රතිකාර ගැනීමේ විනයක්‌ පැවතිය යුතුය. ඔවුහු ඒ පිළිබඳවද සාකච්ඡා කරති.

වෛද්‍ය හමුවකට ගිය විට අනෙක්‌ රෝගීන් පිළිබඳ සැලකිලිමත් වියයුතු ආකාරය, රෝගයට අදාල වෙනත් සටහන් හා දැනට පාවිච්චි කරනු ලබනා බෙහෙත් වර්ග රැගෙන යායුතු බව, අසාත්මිකතා ඇතොත් ඒ ගැන වෛද්‍යවරයාව දැනුවත් කිරීම, වෛද්‍ය උපදෙස්‌වලට සවන් දීම, නොපැහැදිලි දෙයක්‌ ඇත්නම් විමසා දැනගැනීම, හැකිනම් උපදෙස්‌ ඇසීමට තවත් කෙනෙක්‌ කැඳවාගෙන යැම, ගර්භනී බව මෙන්ම කිරිදෙන මවක්‌ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම, වට්‌ටෝරුව අනුව ඖෂධ හලෙන් නිකුත් කරනා ඖෂධ නිවැරදිද කල් ඉකුත් වී නැද්ද යන්න විමසා බැලීම, නියම කරන ලද බෙහෙත්, නියමිත පිළිවෙලට, නියමිත දින ගණන තුළ පාවිච්චි කිරීම, අතරමඟ දී බෙහෙත් නැවැත්වීමෙන් වැලකීම, පැරසිටමෝල් වැනි සරල වේදනා නාශක හැර අනෙකුත් සියලු ඖෂධ බෙහෙත් වට්‌ටෝරුවකින් තොරව ලබා නොගැනීම, වෛද්‍ය උපදෙස්‌වලින් තොරව, පැරණි බෙහෙත් වට්‌ටෝරුවලට නැවත බෙහෙත් ගැනීමෙන් වැළකීම, යමෙකුට නියම කරන ලද බෙහෙත් අන් අයට දීමෙන් සහ අන් අයකුගේ බෙහෙත් භාවිතයට ගැනීමෙන් ද වැළකීම, බෙහෙත් භාවිතයේ දී කිසියම් නුහුරු ගතියක්‌, අසාත්මිකතාවයක්‌, අපහසුතාවයක්‌ හෝ රෝගී තත්ත්වයේ උත්සන්නවීමක්‌ දැනේ නම් වහාම බෙහෙත් නවතා වෛද්‍යවරයා හමුවීම, විශේෂඥ හමුවකට හෝ වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යැමට පෙර, ඔබේ වෛද්‍යවරයාගෙන් යොමූ කිරීමේ ලිපියක්‌ සැමවිටම ලබා ගැනීම හා ඉතා කාර්ය බහුල හා විඩාවට පත්වූ වෛද්‍යවරු වෙත යාමෙන් වැලකීම ඒ උපදෙස්‌ මාලාව තුළ අඩංගුය.

අපේ රටේ වෛද්‍යවරුන්ට මතු නොව රෝගීන්ටද මෙවැනි ලියෑවිල්ලක්‌ හෝ පෝස්‌ටරයක්‌ නිර්මාණය කිරීමට සිදුවීම තුළම අප මුහුණ පා ඇති ඛේදවාචකයේ සංක්‌ෂිප්තයක්‌ තිබේ. රෝගීන් වන්නේ මේ රටේ මිනිස්‌සුය. රෝගීන් සඳහා වූ මේ ලියෑවිල්ලේ වන්නේ ලියා දැන්විය යුතු නොවන තරමේ සරල ස්‌වකීය ජීවිත පැවැත්ම පිළිබ`ද විනය කාරණාය. එහෙත් මේ උපදෙස්‌ ටික පිළිපැදීමට තරම් විනයක්‌ දැනුවත්කමක්‌ රටේ මිනිස්‌සුනට නැත. වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන්නේ එවැනි මිනිසුන් පිරිසක්‌ වෙතය.

අප ජීවත්වන සමාජ ස්‌වරූපය හෙළි කරන වැදගත්ම කාරණාවක්‌ මෙහිදී යළිත් මතුවේ. රටේ සෑම පුද්ගලයෙක්‌ම දල වශයෙන් තුන් වතාවක්‌ වත් පුද්ගලිකව වෛද්‍යවරු හමුවෙති. රෝහල්වලින් බැහැරව ප්‍රතිකාර කරනු ලබන මේ වෛද්‍යවරුන්ගෙන් වාර්ෂිකව මිලියන හතලිහක පමණ රෝගීහු පිරිසක්‌ ප්‍රතිකාර ලබති.

මේ රටේ දුෂ්කරම අධ්‍යාපන ව්‍යායාමය වෛද්‍යවරයෙක්‌ වීමය. වෛද්‍ය උපාධිය යනු රටේ ඉහළම බුද්ධි මට්‌ටමක්‌ සහිත පිරිස්‌ තෝරාගෙන වසර හතක දුෂ්කර දැනුමකින් හා පුහුණුවකින් පසු ලබාදෙන උපාධියකි. එම වෛද්‍ය උපාධිය ප්‍රායෝගිකව වලංගු කරනුයේ එම වෛද්‍ය උපාධිධාරියා ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමෙනි. වෛද්‍ය සභාවේ ලියාපදිංචිය යනු ලංකාවේ වෛද්‍යවරයා පිළිබඳ ලබාදෙන ප්‍රධානම ප්‍රමිතිය ය. මේ නිශ්චිත ප්‍රමිතිය නැති ඖෂධ සංයෝජකයින්, බෙහෙත් වෙළෙන්දන්, ඖෂධවේදීන් පමණක්‌ නොව වෛද්‍ය සහායකයින් ඇතුළු හොර දොස්‌තරවරුන් හතලිස්‌ පන්දහසක්‌ පමණ මේ රටේ වෙතැයි ශ්‍රි ලංකා වෛද්‍ය සභාවම නිරීක්‌ෂණය කරයි.

අනතුරුව වෛද්‍යවරුන් පිළිබඳව වන සංවාදය පුරාම කියෑවෙන්නේ වෛද්‍ය වෘත්තිකයෙක්‌ සතු වියයුතු මූලික ආචාර ධර්ම හා හැසිරීම් ගැනය. එහෙත් බෙහෙත් වට්‌ටෝරු පැහැදිලි අකුරින් ලියාදෙන බෙහෙත්වල ගුණාගුණ සහ ඒවායේ අතුරු විපාක ගැන කතා කරන වෛද්‍යවරයෙක්‌ හමුවේනම් ඒ රෝගියෙක්‌ ලබනා ප්‍රසාද දීමනාවකි. රෝගයට ගැලපෙන සේවාවක්‌ දැරිය හැකි මිලකට ලබාදීම ගැන වන සංකල්පය පවා සමහර වෛද්‍යවරයෙක්‌ හමුවීමට වියදම් කළයුතු මුදල ගැන විමසීමෙන් නිශ්ප්‍රභ වේ. බොහෝ වෛද්‍යවරුන් හැසිරෙන්නේ තමුන් අතින් වරදක්‌ සිදු නොවනා ආකාරයටය. වරදක්‌ සිදුවීනම් බොහෝවිට එය වැටහෙන්නේ රෝගියා මියගිය පසුය. සමහර වෛද්‍යවරුන් රෝගීන්ට තබා ඔවුන්ගේ සුතනඹුවට වුවද හදිසි අවස්‌ථාවක දී සම්බන්ධ කර ගත නොහැක.

හිපොක්‍රටීස්‌ටත් නිදි බෙහෙත් වැඩිපුර පාවිච්චි කර සියදිවි හානි කරගන්නට හිතෙනා අපේ වෛද්‍ය වෘත්තිකයින්ගේ විලිලඡ්ජා නැති හැසිරීම් පිළිබඳව රටට කොතෙකුත් අත්දැකීම් තිබේ. කරුණාවන්ත වීමට, ඇහුම්කන් දීමට, රෝගී තත්ත්ව විමසීමට තබා රෝගියා දෙස බැලීමටවත් කාලය ගත නොකරන විශේෂඥ වෛද්‍ය වරුන් පිළිබඳ අත්දැකීම් නොලද්දෙක්‌ වේනම් එය පුදුමයකි. එක්‌ වරක්‌ තමන් පරීක්‌ෂා කරන රෝගියා වෙනුවෙන් ලබාදෙන වෛද්‍ය වාර්තා බැලීමටත් මුදල් අයකරන, එසේ අයකරන බවට දන්වමින් විලි ලඡ්ජා නැතිව බෝඩ් ප්‍රදර්ශනය කරන, නියමිත රෝගීන් ගණනකට පසු විශේෂ වෙන්කිරීම් රුපියල් පන්දහසකට වඩා වැඩි මුදලකට මිල කරන, පැය දෙකක්‌ තුනක්‌ තුළදී රෝගීන් තිහක්‌ හතලිහක්‌ පරීක්‌ෂා කළ හැකි විශ්වකර්ම විශේෂඥ මනෝවෛද්‍යවරුනුත් සිටින වටපිටාවක රෝගියෙකුගේ තේරීම කුමක්‌ වියයුතුද යන ගැටලුව රට අභියස තිබේ.

අද බොහෝ විශේෂඥ වෛද්‍ය වරුන්ගෙන් සිදුවන්නේ සාමාන්‍ය පවුලේ වෛද්‍ය වරයෙකුගේ කාර්යයමය. මෙය වටහාගත හැක්‌කේ උණ හෙම්බිරිස්‌සාවටත් විශේෂඥ වෛද්‍යවරයෙක්‌ හොයාගෙන යන මධ්‍යම පන්තික මේනියාවෙන් මිදී විවේක බුද්ධියෙන් බලන විටය. මේ සෑම ගැටලුවක්‌ම නිර්මාණය වී ඇත්තේ රෝගියාගේ තෝරා ගැනීම තුළය. විශේෂඥ වෛද්‍ය වරයෙක්‌ යනු එක්‌තරා විෂය ක්‌ෂේත්‍රයක විශිෂ්ටතාවය ලැබුවෙකි. සාමාන්‍යයෙන් නම් එවන් වෛද්‍යවරයෙක්‌ වෙත රෝගියෙක්‌ යොමුකළ යුත්තේත් තවත් වෛද්‍යවරයෙක්‌ විසිනි. එවැනි සම්ප්‍රදායන් මේ සමාජය තුළ නැත.

මෙහිදී වටහාගත යුත්තක්‌ තිබේ. විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ස්‌වකීය රාජකාරි කාලයෙන් අමතර අවස්‌ථාවල පුද්ගලිකව රෝගීන් පරීක්‌ෂා කිරීම කළයුත්තකි. සමාජයද එවැනි සේවාවක්‌ අපේක්‌ෂා කරනු ලබයි. එහෙත් එහි ඒ වෘත්තිකයා සම්භාවනාවට ලක්‌ කරනා ප්‍රමිතියක්‌ තිබිය යුතුය. නිදහස්‌ අධ්‍යාපනයෙන් ඉගෙනගෙන, මිනිස්‌සුන්ගේ බදු මුදල් වලින් පිටරට වලට ගොස්‌ පශ්චාත් උපාධි ලබාගෙන පැමිණෙන මේ මහත්වරුන්ට මේ රට වෙනුවෙන්, මේ රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් මීට වඩා මානුෂික වූ සමාජ වගකීමක්‌ තිබෙනා බව අපගේ විශ්වාසයයි. අප මේ ප්‍රශ්න කිරීම කරනු ලබන්නේ එම පදනමේ පිහිටමිනි.

මේ සියල්ල තුළ ගැබ්වූ ෙ€දවාචකය යළිත් මතු කළ යුතුව තිබේ. අප මේ විශ්මිත කාරණා ලෙස සංවාදයට ලක්‌ කරන්නේ වෛද්‍යවරයෙක්‌ තුළ තිබිය යුතු මූලික ගුණාංග පිළිබඳවය. වෘත්තිකයින්ගේ සදාචාරය පිළිබඳවය. රෝගීන් වන රටේ මිනිස්‌සුන්ගේ විනය හා දැනුම පිළිබඳවය. මේ සමගම තවත් කාරණාවක්‌ තේරුම් ගත යුතුව ඇත. එනම් වෛද්‍යවරුන් යනු මේ සමාජයට ආකාස්‌මිකව පහළ වූවන් නොවන බවය. ඔවුන් විසින් ප්‍රතිකාර කරනා රෝගීන් මේ රටේ මිනිසුන්ම වන බවය. ඔවුන් දෙපිරිසම මේ සමාජයේ නිර්මාණයන්ය. ඔවුන් විසින් මේ පෙන්වා දෙමින් සිටින්නේ සදාචාරයක්‌ නැති සමාජයක හැඩ රුවය. වේදනාව වන්නේ ඒ හැඩරුව අපට වටහා ගන්නට සිදු වී ඇත්තේ ජීවිතවලින් වන්දි ගෙවමින් වීමය.

ජානක ලියනආරච්චි 


 http://www.divaina.com/2012/07/15/nimna05.html

No comments:

Post a Comment