Monday, July 2, 2012

දඹුල්ල මූලික රෝහල රජයට පවරා ගන්නැයි උද්ඝෝෂණ



කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල සහ දඹුල්ල - ඩී. ඩබ්. ඩී. සී. දසනායක, සීගිරිය - සරත් එරමිණිගම්මන

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්‌ ඊයේ (01දා) පෙරවරුවේ දඹුල්ල මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.

"දැඩිසත්කාර ඒකකය අපට අකැපද" ජනාධිපතිතුමනි "අපට ඔබේ පිහිට පමණයි" "අසරණ රෝගීන් බේරාදෙන්න" ආදී පුවරු මෙහිදී ප්‍රදර්ශනය විය. දඹුල්ල රෝහල සුරැකීමේ කමිටුව මගින් මෙය සංවිධානය කර තිබිණි. ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ ඊට එක්‌ව සිටියහ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ දඹුල්ල රෝහල සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරුවකු වන ලාල් ප්‍රේමනාත් මහතා මෙසේ පැවසීය. "මේ රෝහල මූලික රෝහලක්‌ කරල වසර විස්‌සයි. රෝගීන්ට බෙහෙත්, ඉඩකඩ පහසුකම් නැහැ. ලෙඩෙක්‌ අරං එනවා නම් අතේ කනේ රත්තරන් බඩු උකස්‌ තියන්න ඕනෑ. නැතිනම් කොහොම හරි රෝගියාට අවශ්‍ය බඩු පිටින් රෝහලට ගෙනත් දෙන්න ඕනෑ. දැඩිසත්කාර ඒකකය තවමත් විවෘත කරල නැහැ. අපි කියන්නේ රෝහල මධ්‍යම රජයට පවරාගෙන අවශ්‍ය පහසුකම් දෙන්න කියලයි.

මෙම අවස්‌ථාවේ ඒ ස්‌ථානයට පැමිණි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී දඹුල්ල එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායක සංජීව කවිරත්න මහතා මෙසේ පැවැසීය.

දඹුල්ලේ විතරක්‌ නෙමේ මධ්‍යම පළාතෙම රෝහල්වල අඩුපාඩු තිබෙනවා. පළාත් සභාවලට මධ්‍යම ආණ්‌ඩුවෙන් සියයට හැත්තෑපහක ප්‍රතිපාදන දිය යුතුයි. අපට ලැබෙන්නේ සියයට හයයි. ඒකයි මේකෙ ගැටලුව. මම නම් ඉන්නේ මේකෙ දැඩිසත්කාර ඒකකය මධ්‍යම පළාත් සභාවෙන් දියුණු කළ යුතුයි කියන තැන. පළාත් සභා ක්‍රමය පිළිගන්නා රජයක්‌ ලෙස රජය පළාත් සභාවට සහාය දිය යුතුයි. පළාත් සභාවෙන් "ගලවල" දෙන්න නම් පළාත් සභාවක්‌ මොකටද? පළාත් සභාවෙන් ගලවල දීපු එකක්‌වත් අවශ්‍ය නිර්නායක සම්පූර්ණ කරල නෙවෙයි අරන් තියෙන්නේ.

මේ දැඩිසත්කාර ඒකකය විවෘත නොකිරීම ගැන නම් සෞඛ්‍ය ලේකම්තුමා පවා පැහැදිලිවම වගකිව යුතුයි. කොහොම නමුත් ජුලි 02 දා මාතලේ දිස්‌ත්‍රික්‌ කමිටුවට සහභාගි වන ජනාධිපතිතුමාට මේ ගැන මම ලිත සංදේශයක්‌ භාර දෙනවා" යෑයි පැවසීය.


 http://www.divaina.com/2012/07/02/news19.html

No comments:

Post a Comment