Tuesday, October 18, 2011

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40% - 45% පිරිසක්‌ "ඔස්‌ටියෝපොරෝසිස්‌ට" ගොදුරුවෙලා එයිනුත් 35% ක්‌ කාන්තාවෝ

2011 ඔක්‌තෝබර් 19 බදාදා

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40% - 45% පිරිසක්‌
"ඔස්‌ටියෝපොරෝසිස්‌ට" ගොදුරුවෙලා
එයිනුත් 35% ක්‌ කාන්තාවෝ


ඒමන්ති මාරඹේ, ප්‍රදීප් සමරකෝන්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40% - 45% අතර සංඛ්‍යාවක්‌ ඔස්‌ටියෝපොරෝසිස්‌ හෙවත් අස්‌ථි බිඳී යැමේ රෝගයට ගොදුරු වී ඇති බවත් එම ප්‍රතිශතයෙන් සියයට 35 ක්‌ම කාන්තාවන් බවත් සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ රක්‌තවාදවේද විශේෂඥ වෛද්‍ය ලලිත් විඡේරත්න මහතා පැවැසීය.

මෙම අස්‌ථි බිඳී යැමේ රෝගයට ගොදුරු වී ඇති වැඩි දෙනකු වයස අවුරුදු 50 ට වැඩි වයස්‌වල අය බවද ඔහු කීවේය. කැල්සියම් හා විටමින් ඩී ඌනතාවය හේතුවෙන් අස්‌ථි (ඇට) මෘදු වී ඒවා බිඳි යැම සමඟම ඇතිවන ඔස්‌ටියෝපොරෝසීස්‌ රෝග තත්ත්වය නිසා 2006 වසරේදී උකුලු ඇටය බිඳි යැම් පමණක්‌ 2700 ක්‌ මෙරටින් වාර්තා වී තිබේ.

එම උකුල් ඇට බිඳී යාම් 7000 ක්‌ පමණ වසර 2040 වන විට වාර්තා වනු ඇති බවට ඇස්‌තමේන්තු කර ඇතැයිද වෛද්‍ය විඡේරත්න කීවේය.

ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය ඇතිවීම වැළැක්‌වීම සඳහා ළමා වියේ සිට වැඩිහිටි අවධිය වන තෙක්‌ ප්‍රමාණවත් පරිදි ප්‍රොaටීන්, කැල්සියම් හා විටමින් ඩී අඩංගු ආහාරපාන ලබාගැනීමත් නිසි ව්‍යායාමවල ජීවිත කාලය පුරා නිරත වීමත් සිදු කළයුතු බව හෙතෙම අවධාරණය කළේය.

මෙම රෝගය ශරීරයේ ඕනෑම අස්‌ථියක බිදීයැමක්‌ නිසා හට ගත හැකි අතර වැඩි වශයෙන්ම මෙහිදී බිඳී යැමට ලක්‌වනුයේ උකුලු ඇට, කොඳු ඇට, මැණික්‌ කටුව හෝ ඉදිරි බාහුවේ අස්‌ථී බව අනාවරණය වී තිබේ. මෙහිදී උකුලු ඇටය බිඳී යැමට ලක්‌ වුවහොත් රෝහල්ගත කිරීම්වලට මෙන්ම ඒ ආශ්‍රිත මරණවලටද හේතු විය හැකි බව කරාපිටිය වෛද්‍ය පීඨයේ කාය වෛද්‍ය මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා පවසයි.

උකුලු ඇටය බිඳී යන රෝගීන්ගෙන් සියයට 50 ක්‌ම වසරක්‌ ගත වූ පසුද සිය වැඩකටයුතු වෙනත් කෙනෙකුගේ සහායෙන් තොරව කරගත නොහැකි තත්ත්වයක්‌ හට ගන්නා බවද ඔහු කීවේය.

කාන්තාවන් අතර වැඩි වශයෙන් පවතින බව අනාවරණය වුවද වයස්‌ගත පිරිමින් අතරද සැලකිය යුතු ප්‍රතිශතයක්‌ ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයට ගොදුරු වන බව අනාවරණය වී තිබේ.

ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (18 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය විය. ඔස්‌ටියෝපොරෝසිස්‌ දිනය මෙම 20 වැනිදාට යෙදී තිබේ. වෛද්‍ය රේණුකා ජයතිස්‌ස හා වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් යන අයද මෙහිදී කථා කළහ.
 

No comments:

Post a Comment