Wednesday, October 26, 2011

වැඩ නැති දොස්‌තරලා අනූවක්‌

වෛද්‍ය හිඟයෙන් රෝහල් 47 ක්‌ වැසී යද්දී
වැඩ නැති දොස්‌තරලා අනූවක්‌ අමාත්‍යාංශයේ

කොළඹින් පිට යැමට අකැමැතිව පියන් වැඩෙත් කරනවාලු

අජිත් අලහකෝන්

වෛද්‍යවරුන් නොමැතිව දිවයින පුරා රෝහල් හතළිස්‌ හතක්‌ වසා තිබියදී කිසිදු රාජකාරියක්‌ නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් අනූදෙනකු සිටින බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

මෙම වෛද්‍යවරුන් අනූදෙනාගෙන් විසිඅට දෙනෙක්‌ ජීව වෛද්‍ය ඉංජිනේරුවරුන් වශයෙන් ද තවත් වෛද්‍යවරුන් හැටදෙදෙනකු සැලසුම් කටයුතු සඳහා යෑයි ද පවසමින් අමාත්‍යාංශය තුළ රඳවාගෙන සිටින නමුත් ඔවුන් කිසිවකුටත් රාජකාරියක්‌ පවරා නැතැයි ද ඉහත ප්‍රකාශකයා කීය.

අමාත්‍යාංශයේ ඇතැම් අංශ ප්‍රධානීන්ගේ අවශ්‍යතාව මත මෙම වෛද්‍යවරුන් රඳවාගෙන සිටින බව කී ඉහත ප්‍රකාශකයා ලිපිකරුට අදාළ රාජකාරි, දත්ත සැකසුම්, ලඝූ ලේඛක කටයුතු, ලිපි ගොනු කළමනාකරණය සහ ලිපි ගොනු ගැටගැසීම වැනි කටයුතු දැනට ඔවුන් විසින් සිදුකරන බව ද පැවැසුවේය.

ඉහත කටයුතු සඳහා අමාත්‍යාංශය තුළ නිලධාරීන් සිටිද්දීත් වෛද්‍යවරුන් ඒ සඳහා යොදවා ඇතැයි පැවැසූ අමාත්‍යාංශ නිලධාරියා රෝහල් වෙත අනුයුක්‌ත කළහොත් කොළඹින් පිට රාජකාරි සඳහා යැමට සිදුවන බැවින් මෙකී වෛද්‍යවරුන් ද ප්‍රසිද්ධියේ පෙනී නොසිට සැඟවී සිටීමට උත්සාහ දරන බව පැවැසුවේය.

මෙම වෛද්‍යවරුන් අනූදෙනා අමාත්‍යාංශය වෙත පැමිණෙන්නේ ද සතියකට වරක්‌ හෝ දෙවරක්‌ පමණක්‌ බව ද එසේ පැමිණ සතියකටම අදාළ වන ලෙස අත්සන් කර අතිකාල දීමනා ද ලබාගන්නා බව කී අමාත්‍යාංශ නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කිසිදු රාජකාරියක්‌ නොමැතිව වෛද්‍යවරුන් අනූදෙනකු සිටින බව සෞඛ්‍ය ඇමැතිවරයා ද මෙතෙක්‌ දැන නොසිටි බව කීය.

රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක්‌ පවතිද්දී මෙරට වෛද්‍යවරුන් දසදහසක්‌ විදේශගතව සිටින බව ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා මින් පෙර අවස්ථාවකදී ප්රකාශ කළේය.

උපුටාගැනීම

No comments:

Post a Comment