Saturday, October 15, 2011

අහිංසක ජීවිත බේරා ගත් වෛද්‍ය ජයසිංහගේ මිනිමරුවන් තවමත් නිදැල්ලේ



ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ ශාන්ත තිසේරා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස වෛද්‍ය අංශයෙන් විශ්ව විද්‍යාලයට පිවිස වෛද්‍යවරයකු ලෙස සේවය ඇරැඹු ඔහුගේ අරමුණ වී තිබුණේ තමා ලබාගත් දැනුමින් මහජනතාවට සේවය කිරීමය. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන විට බොරකන්ද රජයේ රෝහලේ සේවය කරමින් සිටි ඔහු හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල කරා ගියේ වෙලාව අවේලාව නොතකමිනි. රෝගීන්ගේ ජීවිත බේරා දීමට හැම විටම කැපවූ වෛද්‍ය පි‍්‍රයංකර ප්‍රසාද් ජයසිංහ මහතාට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේ නාඳුනන තුවක්කු කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකිනි.
මුළු කරන්දෙණිය ප්‍රදේශයම හැඬවීමට සමත් වූ මේ වෛද්‍යවරයා ඝාතනය කිරීම සිද්ධිය හා බැඳුණු කඳුළු කතාවයි මේ.
වෘත්තියේ යෙදුණත් මගේ පුතා සල්ලි නොවෙයි හම්බ කළේ. මිනිස්සු. දුප්පත් රෝගීන්ට බෙහෙත් දී එයා කවදාවත් මුදල් අය කළේ නැහැ. මිනිස්සුන්ට ඒ විදියට අනුකම්පා කළ පුතෙක් තමයි මේ විදියට හිතක් පපුවක් නැතිව වෙඩි තියල මරල දැම්මෙ. මේ අපරාධය දෙවියන්ම බලා ගන්න ඕන.
සිය පුතුගේ වියොවින් මුසපත්ව ඔහුගේ ගුණ සිහි කරමින් හඬා වැලපෙන දීපානි ජයසිංහ මාතාව තවමත් පසුවන්නේ දැඩි සිත් පීඩාවකිනි.
නොහඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව මියගිය දොස්තර පි‍්‍රයංකර ප්‍රසාද් ජයසිංහ මහතා මියයන විට හතළිස් වැනි වියේ පසු විය. ඔහු මියයන විට බොරකන්ද රජයේ රෝහලේ සේවය කරමින් සිටියේය.
කරන්දෙණිය කිරිපේද්දේ පදිංචිව සිටි අභාවප්‍රාප්ත ධර්මදාස ජයසිංහ මහතාගේ සහ දීපානි ජයසිංහ මහත්මියගේ වැඩිමහල් දරුවා ලෙස දොස්තර ප්‍රසාද් ජයසිංහ මහතා මෙලොව එළිය දුටුවේය. ඔහුට බාල සොහොයුරන් දෙදෙනාම විවාහකයෝ වෙතත් ඔහු තවම අවිවාහකයෙකි.
කුරුඳුගහහැතැක්ම ශාන්ත තිසේරා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු ජයසිංහ මහතා පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය.
වෛද්‍ය අංශයෙන් උසස් පෙළ හැදැරු ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ තවත් විශිෂ්ට ආනන්ද පුතකු ලෙසිනි.
අමු අමුවේ මරා දැමුණු වෛද්‍යවරයාගේ මව මේ අපරාධය ගැන දෙනෙතින් ඛ්ඡ්න කඳුළු පිස ගනිමින් අප හා පැවසු කතාව මෙසේ ය.

පුතා දොස්තර විභාගෙන් සමත් වෙලා පළමු පත්වීම ලැබුවෙ බොරකන්ද රජයේ රෝහලට. ඒ මෙයට වසර දහයකට කලින්. බොරකන්ද රෝහල තියෙන්නෙ අපේ ගම කිට්ටුවමයි. පුතා ඒ රෝහල අසල පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්න සූදානම් වුණා. එවකට බොරකන්ද රෝහලේ හිටපු වෛද්‍යවරයෙක් රෝහල අසල බෙහෙත් ශාලාවක් විවෘත කරනවට විරුද්ධ වුණා. ඒ විතරක් නොවෙයි පුතාගෙන් බෙහෙත් ගන්න එපා කියලත් රෝගීන්ට කියල තිබුණා.
තව නොයෙකුත් කරදර හිරිහැර කළා. ඊට පසුව පුතා මහඒදණ්ඩ ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් විවෘත කළා. විශේෂඥ වෛද්‍යවරු කැඳවා ප්‍රතිකාර කිරීමේ කටයුතු පුතා මේ ළඟදි ආරම්භ කළා. බැංකු ණයක් අරගෙන ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණත් ගෙනාවා. මේවට ඇතැම් පිරිස් ඊර්ෂ්‍යාවෙන් පසුවූ බව අපට තේරුණා. පුතාට වෙඩි තියන්න කලින් දිනක පුතාගෙ වාහනයට ගල් ගසා තිබුණා. වාහනයට මඩ ගහල තිබුණා. පුතා ඒව ගණන් ගත්තෙ නැහැ.
දවසක් පුතා ගෙදර ආව විතරයි. මම තේ එකක් හදල පුතාට දුන්න. තේ එක බොන්න අතට ගත් හැටියෙම එයාට දුරකථන ඇමතුමක් ලැබුණා. අම්මෙ අමාරු ලෙඩෙක් රෝහලට ගෙනැවිත් තියෙනව කියල බොන්න ගත් තේ එක පැත්තකින් තියල පුතා මෝටර් රියෙන් රෝහලට ගියා. පුතාගෙ හැටි එහෙමයි. රාත්‍රී එකට දෙකට වුණත් රෝගියකු ගෙනැවිත් කථා කළොත් පුතා කිසි දිනෙක රෝහලට නොගිහින් හිටියෙ නැහැ.
පුතාගෙ බෙහෙත් ශාලාවට එන අහිංසක රෝගීන්ගෙන්, පූජ්‍ය පක්ෂයේ අයගෙන් ත්‍රිවිධ හමුදාවෙ අයගෙන් මගේ පුතා බෙහෙත්වලට මුදල් අය කළේ නැහැ. ඒ වගේ හිත හොඳ මිනිහෙක් මගෙ පුතා.
මේ සිද්ධිය වූ දවසෙ පුතා උදේම කොළඹ ගියා. ගෙදර එන විට රෑ වේවි කියලත් කීවා. මම පුතාගෙන් ඇහුව රෑ කෑමට මොනවද හදන්න ඕන කියල. එයා රාත්‍රියට බත් කන්නෙ නැහැ. අම්මට කැමැති දෙයක් හදන්න කියලයි එයා නිවෙසින් පිටවුණේ. පුතා කොළඹ ගිහින් එන ගමන් බෙහෙත් ශාලාවට ගිහින් රෝගීන් පරීක්ෂාකොට තියෙනවා. ඒ කටයුතු අවසන් වෙලා නිවෙසට එන්න වාහනය ළඟට ගිහින් තියෙනවා. එතකොටම යතුරු පැදියකින් ආපු දෙදෙනකුගෙන් එක් අයෙක් පුතාට වෙඩි තියල තියෙනවා. පුතා ඒ එක්කම රෝහලට ගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ වන විටත් පුතා අවසන් හුස්ම හෙළා තිබුණු බව මට ආරංචි වුණා.


මියගිය වෛද්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම පිණිස අතිවිශාල පිරිසක් ඔහුගේ නිවෙසට වැල නොකැඩී ඇදී ආහ. ඔවුන්ගෙන් වැඩි දෙනකුගේ මුවින් පිටවුණේ මගේ ජීවිතය බේරා දුන් දොස්තර මහතාට බුදු බව ලැබේවායි යන වදන් පෙළය. මුළු කරන්දෙණිය ප්‍රදේශයම එකම මරණ ගෙයක් බඳු විය. කිලෝ මීටර පහළොවක් පමණ එක දිගට මාර්ගය දෙපස සැරසිලි කොට තිබිණි. ශෝකය ප්‍රකාශ කරන බැනර් හා වෛද්‍යවරයාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කොට තිබිණි. තැනින් තැන ඉදිවූ තොරණ විය. මේ සියල්ලෙන් කියා පෑවේ මියගිය වෛද්‍යවරයාට මිනිසුන් මොනතරම් ආදරය කළා ද යන්නය.
මුළු ප්‍රදේශවාසීන්ම හඬවමින් දොස්තර ප්‍රසාද් ජයසිංහ මහතා ඉකුත් 3 වැනි දින සවස් භාගයේ සියල්ලන්ගෙන් සදහටම සමු ගත්තේය.
වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති කේ. එච්. සුජිත් පි‍්‍රයන්ත මහතා අප සමඟ පැවසුවේය.







No comments:

Post a Comment