Tuesday, October 18, 2011

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අවශ්‍ය නීති කෙටුම්පත් දෙකෙහිම වැඩ අවසන්

2011 ඔක්‌තෝබර් 19 බදාදා

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අවශ්‍ය නීති
කෙටුම්පත් දෙකෙහිම වැඩ අවසන්

- ඇමැති මෛත්‍රිපාල සිරිසේන


සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ආයතන පිහිටුවීමෙන් නීති කෙටුම්පත් දෙකෙහිම වැඩ කටයුතු අවසන් නිසා මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා එම කෙටුම්පත් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 34 වැනි අනුස්‌මරණ දිනය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් එම සංස්‌ථාව විසින් පෙරේදා (17 වැනිදා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නව ප්‍රධාන ශාලාවේ දී උත්සවයක්‌ සංවිධානය කර තිබිණි. එම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා - "මීට මාස 02 කට කලින් ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගැන මගෙන් කරුණු විමසුවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේත් නිලධාරීන් ගෙන්වලා ජනාධිපතිතුමා උපදෙස්‌ දුන්නා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස්‌ කිරීමේ කටයුතු ඉක්‌මන් කරන්න කියලා. අවුරුද්දක්‌ ඇතුළත සියලු දෙනාගේම සහයෝගය නිසා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ආයතන පිහිටුවීම පිළිබඳව පනත් දෙකේම වැඩ දැන් අවසන් කර තිබෙනවා. ඒ නිසා එම පනත් දෙක ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට මේ වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මේ රටේ ජනතාව බලාගෙන හිටියේ මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා, සේනක බිබිලේ මහතාගේ 35 වැනි ගුණසමරු උත්සවය අප පවත්වන්නේ මේ පනත් දෙක සම්මත කරලා එම ආයතන දෙක පිහිටුවලා කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

අපේ රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 80 ක්‌ ගෙන්වන්නේ ඉන්දියාවෙන්. එරට සමාගම් කිහිපයක්‌ විසින් තමයි මේ ඖෂධ පිළිබඳ කටයුතු සිදු කරන්නේ. මම මේ වසරේ ඉන්දියාවට ගොස්‌ ඉන්දීය සෞඛ්‍ය ඇමැතිවරයා, ඉන්දීය ඖෂධ පාලකවරයා සහ ඉන්දීය ඖෂධ කොමිෂන් සභාව මෙන්ම ඉන්දීය ඖෂධ වාණිජ මණ්‌ඩලයත් මුණගැසී සාකච්ඡා කළා. අපි පෙන්වා දුන්නේ මේ ඖෂධ තත්ත්වයෙන් බාලවීම, කලට වේලාවට නොලැබීම සහ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබා නොදීම කියන කරුණු පිළිබඳව. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයාත්, ඖෂධ පාලකවරයාත් අපෙන් ඉල්ලීමක්‌ කළා ඉන්දීය සමාගම්වලින් එවැනි ප්‍රශ්න ඇති වෙනවා නම් වහාම තානාපතිවරයා හරහා දන්වන්නට කියලා. හැබැයි ඉන්දියාවේ ගිහින් ආවට පස්‌සේ මේ පැත්තට වීසි කරපු බෝලේ තවම ඒ පැත්තට වීසි කළේ නැහැ. තවමත් මාත් එක්‌ක කතා කරලා මම දැන් දෙපැත්තේම තොරතුරු දන්නවා මොකක්‌ද වුණේ කියලා. අප විසින් කරන කාරණයන් අවංකව ඉටුකළ යුතුයි. අපට මහජනතාව භාරදුන්න කාරණාව, කටයුත්ත කවුරු හෝ වගකිවයුත්තෙක්‌ වේවා අපි යුතුකම ඉටුකළ යුතුයි.

අද මේ උත්සවයේ දී මහාචාර්ය සේනක බිබිලේ මහතාට මල් මාලය පළන්දලා ඡායාරූපයට මම ආචාර කරමින් මම අධිෂ්ඨාන කළේ ඔබතුමාගේ බලාපොරොත්තුව මම හැකි ප්‍රමාණයෙන් ඉටුකරනවා කියන එකයි. මොනවිදියේ ප්‍රශ්න මතු වුණත්, මොන විදියේ ගැටලු මතුවුණත් අභියෝග ආවත් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ බලාපොරොත්තුව ඉටු කරනවා කියන කාරණය මම කියන්න කැමැතියි.

මෙහිදී සේනක බිබිලේ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජයග්‍රහණය ලැබූ තංගල්ල බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට ත්‍යාග පිරිනැමුණු අතර විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනකුට සේනක බිබිලේ ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය. මෙම අවස්‌ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්‌ස විතාරණ, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු යන මහත්වරු ද සහභාගි වී සිටියහ.






No comments:

Post a Comment