Wednesday, October 26, 2011

සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය හරහා සියල්ල විසඳන්න බැහැ

සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය හරහා සියල්ල විසඳන්න බැහැ
16 Oct
ශ‍්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය සේවාව හා එහි තත්ත්වය පිළිබඳ ඔබ දරන්නේ කුමනාකාර අදහසක්ද?

අද ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ පැහැදිලි පසුබෑමක් තිබෙනවා. ඒක අපිට පිළිගන්න සිදුවෙනවා. මොකක්ද මේ පසුබෑම කියන එක ගැන කල්පනා කළොත් තවමත් අපේ රටේ සෞඛ්‍ය සේවාව තමයි මේ කලාපයේ රටවල් හා සසඳද්දී ඉහළින්ම තිබෙන්නේ. මාතෘ මරණ අනුපාතිකය, ළමා මරණ අනුපාතිකය හා උපතේදී ආයු අපේක්‍ෂාව ඇතුළු සෞඛ්‍ය දර්ශකයන්ගෙන් අපේ රට ඉදිරියෙන් සිටිනවා. දැන් අපිට වෙලා තිබෙන දේ තමයි කාලාන්තරයක් තිස්සේ මෙම දර්ශක දිගින් දිගටම ඉහළයෑමක්, වර්ධනයක් පෙන්නුම්කරලා යම් තැනකදි නතර වෙලා තිබෙනවා. එතනින් එහාට වර්ධනය නීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම සමහර කාරණා සම්බන්ධයෙන් පසුබෑමක් තිබෙනවා. ඒකට හේතුව ගැටලූවක්.

අද අපි කෑගහනවා කවදාවත් නැතිතරම් විශාල මුදලක් සෞඛ්‍ය සඳහා වෙන්කරනවා කියලා. සෞඛ්‍ය සේවාවේ ස්ථරයන් කිහිපයක් තිබෙනවා. ඉස්සර අපි කතා කළා සෞඛ්‍ය කියන්නේ ලෙඩක් හැදුනම ඒක සනීප කරගන්න පුළුවන් නම් ඒක තමයි සෞඛ්‍ය කියලා. පස්සේ කිව්වා සෞඛ්‍ය කියන්නේ ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්න එකයි කියලා. ඊටත් පස්සේ ලෙඩ හැදෙන්නෙ නැතිව ඉන්න එක විතරක් නෙමෙයි සෞඛ්‍ය කියන්නේ මිනිසා උපතේදී රැුගෙන එන යම් ශක්තිසම්පන්න සෞඛ්‍ය තත්ත්වයකට දියුණු වීමයි කියලා. පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනයන් කිහිපයක් නිකුත් කරලා කිව්වේ මනා යහපැවැත්ම, කායික මානසික, සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම තමයි සෞඛ්‍ය කියලා. ඒ සෑම තත්ත්වයකම උපරිමයේ අප සිටිය යුතුයි. මේ සියල්ල සංකලනය වෙලා දැන් නව සංකල්පයක් බිහිවෙලා තිබෙනවා සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කියලා. ඒ හරහා සෞඛ්‍ය තත්ත්වයන් නංවාලීම සිදුවෙනවා.
අපේ රට දිහා බැලූවම තවමත් අපේ සෞඛ්‍ය සේවාව තිබෙන්නේ මේ සියලූ අවධීන්ගෙන් මුල්ම අවධියේ. ඒ කියන්නේ ලෙඩක් හැදුනම සනීප කරගන්න පමණක් වෙහෙසෙන සෞඛ්‍ය සේවයකුයි ලංකාවේ තවමත් පවතින්නේ.

ලංකාවේ පවතින්නේ නොමිලයේ ලබාදෙන සෞඛ්‍ය සේවාවක්. නමුත් එය යම් යම් අභියෝගයන්ට මේ වන විට මුහුණ දෙමින් සිටිනවා. එම ප‍්‍රධාන ගැටලූ ලෙස ඔබ දකින්නේ මොනවාද?

ලංකාවේ තවමත් පවතින්නේ ලෙඩක් හැදුනම සනීප කරගන්න වෙහෙසෙන සෞඛ්‍ය සේවයක් කියන තැනින්ම ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ගැටලූවලටත් ප‍්‍රවේශයක් ගන්න පුළුවන්. ලංකාවේ සෞඛ්‍යයට වෙන්කරන මුදලින් 75%ක්ම වෙන් කරන්නේ මේ ලෙඩ සනීප කරන කාර්යයට. ඉන් පස්සේ රෝහල්වල තත්ත්වය ගැන බලන්න, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් ගෙවන්න ඖෂධවලට තමයි ඉතිරිය. ඒත් අලූතෙන් රෝහල් හදන්න උත්සාහයක් නැහැ. ඒ වගේම කිවයුතුයි තිබෙන රෝහල් නඩත්තු කරන්නවත් අපට බැහැ. ජයවර්ධනපුර රෝහල අපට ලැබෙද්දී ඒක තමයි ලංකාවේ හොඳම රෝහල. දැන් වසර 10ක් 15ක් වෙනවා. සිදුවියයුත්තේ එම රෝහල තවදුරටත් දියුණු වීමනේ. සිදුවෙලා තිබෙන්නේ තවත් තත්ත්වයෙන් පහළට වැටුණු එක. ගැටලූව තියෙන්නේ අපිට කොයිතරම් දුරට මේක කරගෙන යන්න පුළුවන්ද කියලයි. දැන් රජයේ හා පෞද්ගලික වෛද්‍ය සේවය අතරත් ගැටලූ තිබෙනවා. අපි හිතනවා රජය තමයි අපට සෞඛ්‍ය සේවාව සැපයිය යුත්තේ කියලා. එහෙත් ආර්ථික විද්‍යාවේ කියමනක් තිබෙනවා ත්‍රුැ කමබජය කියලා දෙයක් නෑ කියලා. ඒකට කවුරුන්හෝ ගෙවනවා. ඒක සම්පූර්ණ ඇත්ත. අපි රජයේ රෝහලකින් බෙහෙත් ගන්න වෙලාවට ෂල්ලි නොගෙවනවා වෙන්න පුළුවන්. නමුත් අපේ බදු මගින් හෝ වෙනයම් ආකාරයකින් අපි ඒකට ගෙවනවා. අපි පාන් ගෙඩියකට ගෙවන ගාණෙන් කීයක් හෝ අපේ සෞඛ්‍ය සේවාවට එකතු වෙනවා වන්නට පුළුවන්. ඉතින් නොමිලේ සෞඛ්‍ය සේවාවක් කියලා දෙයක් නැහැ. ආණ්ඩුවෙන් බේත්හේත් ටික හරියට දෙන්නෙ නැති වුණාම මිනිස්සු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් බෙහෙත් ගන්න පුරුදුවෙනවා. ආණ්ඩුවේ රෝහල්වල ප‍්‍රශ්න තමයි පෝලිම. ඒත් පෞද්ගලික රෝහල්වල පෝලිම් නැද්ද? ආණ්ඩුවේ රෝහල්වල ශල්‍යකර්ම කරන්න මාස 6ක් 7ක් අවුරුද්දක් ඉන්න ඕන. පෞද්ගලික රෝහල්වල ඒක නෑ. හැබැයි ඉතාම විශාල මිලක් අයකරනවා. රෝහල්වල ඖෂධ නෑ. ඔබ නොදන්නවා ඇති ඖෂධවර්ග ආනයනය කිරීමට කෙනෙක් ලියාපදිංචිවීමට ගියොත් ඔහුට වසර 3ක් තරම් විශාල කාලයක් ඒ සඳහා බලන් ඉන්න සිදුවෙන බව. හේතුව තමයි ඖෂධ වෙළඳාමේ ආධිපත්‍ය තබාගෙන සිටින පිරිස අල්ලස් දීලා ලියාපදිංචිය නවත්වනවා. ඔවුන් තවත් කෙනෙක් ඖෂධ ආනයනය කරනවාට කැමති නැහැ.

ආයෙමත් තිබෙන ලොකුම මිත්‍යාව තමයි සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ගෙනාවොත් මේ ඔක්කොම හරියනවා කියන එක. සේනක බිබිලේ කිව්වෙ නොයෙක් තැන්වල එක එක මිලගණන් වලට තිබෙන එකම බෙහෙත් වර්ග සාධාරණ එකම මිලකට ලබා දෙන්න කියන එක. ඔහු කිව්ව අනෙක් කාරණය තමයි බෙහෙත්වල තත්ත්වය පිළිබඳ වගකීම. අඩු මිලකින් තත්වයෙන් උසස් බෙහෙත් වර්ග රෝගීන්ට ලබා දීමට හොඳ වැඩපිළිවෙළක් හදන්න අපට පුළුවන්. එත් ආණ්ඩුව තවම ඒකට ලෑස්ති නැහැ.

පැනඩෝල් කියන නාමය යටතේ ඖෂධය ලබාගැනීමට රුපියල්1.50 ක් වැයකරද්දී එම ඖෂධ වර්ගයම පැරමොල් නමින් ශත 6.5 කටත් අඩු මිලකට ලබා දෙන්න පුළුවන්. ඒත් තවමත් එහෙම වැඩපිළිවෙළක් නැහැ. අනෙක් කාරණය අපි පහුගියකාලේ දැක්කා තයිරොයිඞ් ග‍්‍රන්ථි සම්බන්ධ රෝගයකට සත 60 ටත් වඩා අඩු මිලකට යම් බෙහෙත් වර්ගයක් ආණ්ඩුවේ රෝහල්වලින් ලබා දුන්නා. ඒත් ඒ බෙහෙත භාවිත කළා කියලා ලෙඩාට සහනයක් නැහැ. ඒ කියන්නේ ලෙඬේ හොඳ වෙන්නේ නැහැ. පස්සේ ආණ්ඩුව පිළිගත්තා ඒ බෙහෙත ප‍්‍රමිතියෙන් තොර බව. ඒ එක් සිද්ධියක් පමණයි.

රෝහල්වලට ගියාම බෙහෙත් වර්ග පිට ෆාමසිවලින් ගන්න ලියලා දෙනවා. ඉතා කුඩා පරීක්‍ෂණ පවා පෞද්ගලික ස්ථානවලින් කරගෙන එන්න කියනවා. ඉතින් කෝ නොමිලේ සෞඛ්‍ය සේවාවක්?

ඒ ඒ අංශ භාර වෛද්‍යවරුන්ගෙන් ඇහුවම ඔවුන් කියනවා රසායනාගාර පහසුකම් හොඳින් තිබෙනවා කියලා. මේක පරිපාලනයේ කඩා වැටීමක් කියලයි ඔවුන් කියන්නේ.

සෞඛ්‍ය පරිපාලනයේ කඩාවැටීමක් තිබෙනවා. එය පිළිගත යුතුයි. පඩි මදි, නිවාඩු නෑ, කාර් ඕන කියලා පරිපාලනයට බලපෑම් කරනවා. කෝ සෞඛ්‍ය වෘත්තිකයන්ගෙ හික්මීම.උදාහරණයකට ගත්තොත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නීතිය තමයි උදේ 8ත් හවස 4ත් අතර පෞද්ගලිකව රෝගීන් පරීක්‍ාකිරීමේ සේවා වෛද්‍යවරුන්ට තහනම්. ඒත් ඒක සිදුවෙනවාද? මීට විරුද්ධව පරිපාලනමය තීරණ ගන්නවා කිව්වම වැඩවර්ජන කරනවා කියලා කියනවා.

මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වන්නේ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව සම්පත් හිඟය සම්බන්ධවයි. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

දැන් ලංකාවේ ජනගහනය 1870 කට දොස්තරලා ඉන්නේ එක්කෙනයි. දියුණු රටක නම් ජනගහනය 300-500 ක් අතර ප‍්‍රමාණයකට වෛද්‍යවරුන් එක් අයෙක් සිටිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව ලංකාව වගේ රටකට අවම වශයෙන් 500-750 ත් අතර ගණනකට එක් වෛද්‍යවරයෙක් සිටියාට කමක් නෑ. නමුත් අපට තව වසර කීයකින් ඒ තත්ත්වයටවත් ළඟාවෙන්න පුළුවන්ද?

ඒකට පිළියමක් වශයෙන් අපට වැඩිපුර වෛද්‍යවරු හදන්න පුළුවන්ද? දැනට අවුරුද්දකට වෛද්‍යවරු 100 ක් රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවෙනවා. ඒ වගේම වසරකට 500 ක් පමණ විශ‍්‍රාම යාම, මියයාම හා රටින් පිටවීම යන හේතු මත පද්ධතියෙන් ඉවත්ව යනවා. එතකොට හරියටම 500 ක් තමයි පද්ධතියට නියම විදියට නම් එක් වෙන්නේ.

ලංකාවට හෙද වෘත්තිකයන්ගේ බරපතළ හිඟයක් තිබෙනවා. නමුත් හෙද, පුහුණු පාසල් වැඩිකරන්න ඉඩ දෙන්නේ නැහැ. ශ‍්‍රී ජයවර්ධනපුර හා තවත් විශ්වවිද්‍යාලයකින් හෙද වෘත්තිය පිළිබඳ බීඑස්සී උපාධිය ලබා ගත් ළමුන් 75 දෙනෙක් ලංකාවේ සිටිනවා. ඔවුන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේත් ලියාපදිංචි වෙලා සිටින්නේ. ඔවුන්ට හෙද වෘත්තියට එන්න ඉඩ දෙන්නේ නැහැ.  මේ හැමදේම කරන්නේ වෘත්තිය සමිති විසිනුයි.

එක් පවුල් සෞඛ්‍ය සේවිකාවක් මිනිසුන් 3000 ක් බැලිය යුතුයි. මේක කරන්න පුළුවන් දෙයක්ද?

හෝටල්, වැසිකිළි හා ආහාරවර්ග පරීක්‍ෂා කිරීමට ඇති තරම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සිටිනවාද?

ගමේ නොවෙයි නගරෙවත් මේවා නිසි පරිදි සිදුවනවාද? අපට මතකයි නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අල්ලපු කඩ කාමරයේ කුණු ගඳ ගහන මස් කඩයක් තිබුණා. ඒ අපද්‍රව්‍ය සියල්ලම කාණු පද්ධතියට තමයි යොමු වෙන්නේ. මේක කොච්චර කාලයක් තිබුණද කිසිවෙක් ඊට විරුද්ධව ක‍්‍රියා කළේ නැහැ.

අද නිසි අධ්‍යාපනයක් පවා නොලබපු කුඩා ළමයි ෆාමසිවල බෙහෙත් දෙන්න තබාගෙන සිටිනවා. ඔවුන්ව ඒ තුළම ඖෂධවේදීන් ලෙස පුහුණු කරනවා. ලංකාවේ නීතිය අනුව නම් ඖෂධවේදියෙකුට හැර ෆාමසියක් පවත්වාගෙන යන්න බැහැ.

මේ මානව සම්පත් ප‍්‍රශ්නයට හේතුව අමුද්‍රව්‍ය නොමැති කම නොවෙයි. උසස් පෙළට පෙනී සිට සමත්වූ දරුවන් ඕනෑ තරම් සිටිනවා. මේ වෘත්තිය සමිති ත‍්‍රස්තවාදය විසින් ආණ්ඩුවට මේ දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. සෞඛ්‍ය වෘත්තිකයන්ව බිල්ලට තියාගෙන වෘත්තිය සමිති තම කේවල් කිරීම් සිදුකරනවා. ජනතාව රැුකගන්නවාට වඩා ආණ්ඩුව නිලධාරීවාදයට යටවෙලා. මාලිගාවත්ත රෝහලේ වකුගඩු ඒකකය විවෘත කරන්න බැරිවුණේ එවැනි හේතුවක් නිසා නෙමෙයිද? එය පාලනය විය යුත්තේ කවුරුන් හරහාද යන ප‍්‍රශ්නයයි මුලින් ඇතිවුණේ. ඉතින් තවමත් සියලූ පහසුකම් තිබියදී පවා එම ඒකකය සක‍්‍රීය මට්ටමට ගෙන එන්නට ආණ්ඩුවට නොහැකි වෙලා. ආණ්ඩුවේ කොන්ද පණ නැත්නම් අපි අනාථයි. අද සෞඛ්‍ය සේවාවේ වැදගත්ම කෙනා නොවැදගත්ම කෙනා බවට පත්වෙලා. වැඩිම අවධානයක් යොමුවිය යුත්තේ රෝගියාට වුවත් අද රෝගියා තමයි අපේ සෞඛ්‍ය සේවාවට නොවැදගත්ම.

රජය විසින් විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම කළ යුතු යැයි ඔබ සිතන්නේ කුමනාකාර වැඩපිළිවෙළක්ද?

මෙහිදී අවධානය යොමු කළ යුතු පළමු දේ තමයි ලංකාවේ සෞඛ්‍යයට වෙන් කරන මුදල ප‍්‍රමාණවත්ද කියන එක. මීට වසර 5 කට පෙර සමීක්‍ෂණයකින් හෙළි වුණා බෙහෙත්, වෛද්‍යවරුන්ට ගෙවන මුදල හා ප‍්‍රතිකාර සඳහා යොදාගන්නා උපකරණවලට යන වියදම හැර එක් රැුයක් රෝගියෙකුට රෝහලේ තබා ගන්න වැය වන මුදල රුපියල් 450 ක් බව. ඇඳයි, කොට්ටය, මෙට්ටය හා ආහාර වේල සඳහා එක රැුයකට පමණයි. මේක කොච්චර කාලයක් ආණ්ඩුවට කරන්න පුළුවන්ද?

හෘද සැත්කමකට රජය අවම වශයෙන් දැරිය යුතු වියදම රුපියල් ලක්‍ෂ හතරහමාරක්. අමතරව වෑල් (නහරයක් බද්ධ කරන්න වුණොත්) එකක් දාන්න වුණොත් තව රුපියල් ලක්‍ෂයක් වැඩිපුර වියදම් කරන්න වෙනවා. මේ වියදම රජයට දැරිය හැකිද?

මේ සඳහා කුමක් හෝ ක‍්‍රම වේදයක් සොයාගත යුතුයි. රක්‍ෂණ ක‍්‍රමයක් වැන්නක් ක‍්‍රියාත්මක කළ යුතුයි. මීට වසර ගණනාවකට පෙර බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියෙකුගෙන් රුපියලක් අය කිරීමේ ක‍්‍රමවේදයක් තිබුණා. පසුකාලීනව ටිකෙන් ටික වැඩිවෙලා රුපියල් 10 ක් තරම් ප‍්‍රමාණයට එය වැඩි වුණා. නමුත් කිසිවෙකුගේ විරෝධයක් ඒ සඳහා එල්ල වුණේ නැහැ. ඡුන්ද ලබාගැනීමේ උපක‍්‍රමයක් විදිහට 1970 දශකයේ මුල් භාගයේ එම ක‍්‍රමය අහෝසි කළා. ඒ වනතුරුත් ඊට විරෝධතා තිබුණේ නැහැ. අදත් අග‍්‍රහාර කියලා රක්‍ෂන ක‍්‍රමයක් තිබෙනවානේ. රුපියල් 75 ක් වැටුපෙන් කපා ගන්නවා. අසනීපයක් වුණොත් වියදම් දරනවා. කිසිවෙකගේ විරෝධයක් නැහැ.

අපි දැන්වත් තේරුම්ගත යුතුයි අපට මේක කරන්න බැරි බව. සෞඛ්‍ය කියන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පමණක් අයත් දෙයක් නොවෙයි. මිනිස්සු ආහාරයට ගන්න දේවල්, පරිසරය කියන හැමදේම එකතුවුණාම තමයි, සෞඛ්‍ය කියන්නේ. එතැනදී තමයි සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කියන දේ තියෙන්නේ. මෙතැනදී රාජ්‍ය නොවන සංවිධාන ලංකාව තුළ යම් කාර්යභාරයක් කරනවා. නමුත් ඉතාම ප‍්‍රවේසම් විය යුතුයි. ඉතා විශාල මුදල් කන්දරාවක් එක්ක ඇතැම් රටවල න්‍යාය පත‍්‍ර සෞඛ්‍ය ව්‍යාපෘති හරහා එන්න පුළුවන්. රජයට ඇතැම් ව්‍යාපෘති හරහා සෞඛ්‍ය වෙනුවෙන් යම් සැනසිලිදායක යමක් සිදුවුවත් හානියක්ද සිදුවිය හැකියි.

මීට වසර 3, 4 කට ඉස්සර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒජන්තයින් හරහා ආර්අයිඒ ව්‍යාපෘතිය කියලා ව්‍යාපෘතියක් කළා ලංකාවේ. ඒකෙන් සිදුවුණේ තරුණයන්ට ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඉගැන්වීම. එච්අයිවී ඒඞ්ස් වැළඳීමේ සම්භාවිතාව වැඩියි කියලා තරුණයන්ට ලිංගික ක‍්‍රියාවලිය පිළිබඳව උගන්වන්න මොවුන් කටයුතු කළා. ඒක ඉතා හොඳයි. එහෙත් අවසන් වසරේ මේ ඒජන්සිය තර්කයක් ගෙනාවා ලංකාව තුළ ගබ්සාව නීතිගත කළ යුතුයි කියලා. ඒක ලංකාවේ සංස්කෘතියට විශාල පහරක්. ඒ වගේම එම තර්කය තමයි ඔවුන්ගේ අරමුණ වුණේ. අපිට හැකියාව ලැබුණා ඔවුන් පරාජය කරන්න. ඉන් පස්සේ ඒ සංවිධානය ලංකාවට මුදල් ලබාදීම නතර කළා. ඒ නිසා රජය සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කරගැනීමේදී ප‍්‍රවේශම් විය යුතුයි.

ලංකාවේ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් හිඟයේ ඉදිරියෙන්ම පවතින ප‍්‍රශ්නය වෛද්‍ය හිඟය යැයි බෙහෝ දෙනා ප‍්‍රකාශ කරනවා. ඒ සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිටුවහලක් යැයි ඔබ සිතනවාද?

ශ‍්‍රී ලංකාවේ පවත්නා වෛද්‍යවරුන්ගේ හිඟයට එක පිළියමක් තමයි පිටරට සිට වෛද්‍ය උපාධි ලබා මෙහි පැමිණෙන පිරිසට මේ පද්ධතියට ඇතුල්වෙන්න ඉඩ දෙන එක. දැනට දහසක් පමණ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් සිටිනවා ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන්නට බැරිව. හේතුව තමයි ඔවුන්ව විභාගෙන් සමත් කරන්නේ නැහැ. මෙවර පැවැති ඇක්ට් 16 විභාගයෙන් 506 කගෙන් සමත් වෙලා තිබෙන්නේ 84 යි. ප‍්‍රතිශතය 16% යි. අග‍්‍රවිනිශ්චකාරවරිය පවා කිව්වා මේ විභාගයේ වරදක් මිසක් විභාගයට මුහුණ දෙන පිරිසගේ වරදක් නොවන බව. සම්පූර්ණයෙන්ම වෛද්‍යවරුන්ගේ කුහකත්වය තමයි මීට හේතුව.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ගැටලූ තිබෙනවා තමයි. ඒවා ජාත්‍යන්තර පාසල් වගේ නොවිය යුතුයි. අනිවාර්යයෙන් ප‍්‍රමිතියක් තිබිය යුතුයි. නමුත් ද්වේශ සහගතව හෙළා දැකීම ශෝක ජනක තත්ත්වයක්.

1980 ගණන්වල රාගම රෝහලට අනුබද්ධිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තිබුණා. එදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට දැඩිව විරුද්ධ වුණා. විරෝධයේ ප‍්‍රතිඵලයක් ලෙස එම වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගන්න කටයුතු කළා. ඒක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ව පවතිද්දී ඉන් වෛද්‍යවරු 800 ක් පිටවුණා. ඔවුන් තවමත් ඉතාම හොඳ වෛද්‍යවරු. විශේෂඥ දැනුම අතින් හැසිරීම අතින් ඔවුන්ගේ කිසි ගැටලූවක් නැහැ.

ආණ්ඩුවට සෑහෙන තරම් වෛද්‍යවරු බිහිකරන්න බැහැ. එහෙම වුණාම ළමයි පිටරට යනවා ඉගෙන ගන්න. විදේශ විනිමය තමයි මේ රජයේ වෛද්‍යවරු කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයයි වෛද්‍යවරු කියලානේ. ඒක ඇත්ත. සල්ලි ගෙවලා ඉගෙනගන්න එකේ වරද මොකක්ද? මට කියන්න පුළුවන් මේ රටේ නින්දිත විදිහට සල්ලි හම්බකරන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු ඔය වෛද්‍යවරු කියන එක. දොස්තරලා මිනීමරා ගන්නවා. පසුගිය අවුරුද්දේ කෝට්ටේ ප‍්‍රදේශයේ වෛද්‍යවරයෙක් මැරුවා. මේ ඊයේ පෙරේදා කරන්දෙනියේ වෛද්‍යවරයෙක් මැරුවා. මේවා තමයි නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල.

දැනුත් පිටරට ළමයි ලංකාවේ කොළඹ ජාතික රෝහලේ සායනික පුහුණුව ගන්නවා සුමානෙකට ඩොලර් 50 ක් ගෙවලා. ඉතින් මේරටේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක දරුවෙකුට මුදල් අරන් සායනික පුහුණුව දෙන්න බැරි ඇයි? ආණ්ඩුවත් වැඩවර්ජන කරනවාට බයවෙලා මේ දේවල් අතාරිනවාද කියන එක තමයි ප‍්‍රශ්නේ.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ප‍්‍රශ්නවලදී ගෙන යන භූමිකාව කෙබඳුද?

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ තත්ත්වය ආරක්‍ෂා කිරීමට තිබෙන ආයතනය. හැබැයි මේ වෛද්‍ය සභාව පාලනය වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඕන විදිහට. ජීඑම් ඕඒ කියන්නේ වෘත්ති සමිතියක්. වෘත්තීය සමිති සිදුකරන්නේ තමන්ගේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියා කරන එක මිසක් රටට සේවයක් කරන එක නෙමෙයි.

උදාහරණයක් විදිහට 1970 ගණන්වල වෛද්‍යවරුන් සංඛ්‍යාව අඩු නිසා පැය 4 ක් සඳහා අතිකාල දීමනා දුන්නා. අද වෛද්‍යවරු සංඛ්‍යාව තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩිවෙලා.

පසුගිය දවසක වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයාට පහරදුන්නනේ. අපි ප‍්‍රශ්න විසඳාගැනීමට බලය හා ප‍්‍රචණ්ඩත්වය භාවිත කිරීම ඉතාම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරනවා. මම කිසිසේත් පුදුම වෙන්නේ නැහැ වෛද්‍ය නෝනිස් ගුටිකාපු එක ගැන. අපිට ප‍්‍රශ්නේ මෙච්චර කල් ගුටි නොකා හිටපු එක ගැන. එස්එල්එම්සී එක සහ වෛද්‍ය නෝනිස් කරලා තිබෙන දේවල් දිහා බලද්දී මේ පහරදීම සිදුවිය යුත්තක් ලෙසයි මා දකින්නේ. පගා ගසමින් විභාග සමත් කර දෙන බව කියා පිටරට ගොස් වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණි ළමයින්ගේ වියදමින් රට සවාරි ගිහින් ඉතාම දූෂිත අයුරින් කටයුතු කර වෛද්‍ය නෝනිස් වැන්නකු ඔවැනි ප‍්‍රහාර බලාපොරොත්තු විය යුතුයි.

දැන් ඔහුට වයස 68 ක්. පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහුගෙන් ඉල්ලීමක් කළා තනතුරින් ඉල්ලා අස්වන්න කියලා. නමුත් එස්එල්එම්සී එකේ අනෙක් සාමාජිකයන් හා වෛද්‍ය නෝනිස් එය ප‍්‍රතික්‍ෂේප කළා. ස්වාධීන ආයතනයක් කිව්වට වෛද්‍ය සභාව කියන්නේ ඉතාම ¥ෂිත ආයතනයක්.

මෙවැනි ආයතනයක් හරහා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ තත්ත්වය ආරක්‍ෂාවේද යන්න ඉතාම සැක සහිතයි.

උපුටාගැනීම

http://ravayanews.wordpress.com/2011/10/16/%e0%b7%83%e0%b7%9a%e0%b6%b1%e0%b6%9a-%e0%b6%b6%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92/

No comments:

Post a Comment