Thursday, September 29, 2011

'නෙබුලූයිසර්" ප්ව‍රතිකාරය දෙද්දී දැරියක් මියයයි.

'නෙබුලූයිසර්" ප‍්‍රතිකාරය දෙද්දී රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් 8 හැවිරිදි දැරියක් මියයයි.

2011 ජනවාරි 28 වෙනි සිකුරාදා, 16:44 Sri Lanka Mirror Editor
        රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැකිළිමත්කම නිසා මතුගම ප‍්‍රදේශයේ අට හැවිරිදි පාසල් දැරියක් අකාලයේ මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ සඳුනි සශිකලා ලියනගේ නමැති දැරියයි.
        වැලිකැටිය ප්‍රදේශයේ පත්ම සෙවනට මීට වසර අටකට පෙර වාසනාව ළඟා කර දුන් සඳුනි දියණිය පත්මලාල් (45) මහතාගේත් ඉන්ද්‍රානිකුසුමලතා (42) මහත්මියගේත් තුරුලේ සිටි පවුලේ එකම දරුවාය.  පසුගිය 01 දින දහවල් ආහාරයෙන් පසුව  සඳුනිගේ පපුවේ හතිය ස්‌වභාවය මදක්‌ උත්සන්න වී ඇති හෙයින්  මේ නිසා මවත් පියාත් සමග සුරතල් වෙමින් කිසිදු අපහසුවකින් තොරවම  පයින්ම සඳුනි මතුගම වෑත්තෑව රෝහලට ගොස් ඇත්තේ නෙබුලයිසර් නමැති දුම් ප්‍රතිකාරය ලබා ගැනීමටය.



     දෛවයේ සරදමක තරම පෙන්වමින් මවගේත් පියාගේත් දෑතේ එල්ලී නිවසෙන් පිට වූ පුංචි සඳුනි දියණිය නැවත නිවසට පැමිණියේ සිව්දෙනකුගේ කරමත වූ ලී පෙට්‌ටියකිනි.

    පපුවේ හතිය නිසා දුම් ඇල්ලීමට රෝහල්ගත කළ සඳුනි දියණියට මෙසේ වූයේ කෙසේද
? ඇය මෙලොව හැර ගියේ කාගේ වරදින්ද? මනුෂ්‍ය සිතක නැඟෙන මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට සඳුනිගේ දෙමාපියන්ට තරම් අයිතියක්‌ අන් කවරකුට හෝ නොමැති බව අතිශෝක්‌තියක්‌ නම් නොවේ. මක්‌ නිසාද යත් සඳුනි දියණිය හැර ඇයට සිදුවූ සියල්ල හොඳින්ම දන්නා කවරකු හෝ ඇත්නම් ඒ ඇගේ දෙමාපියන් පමණක්‌ වන හෙයිනි.

    ඇයගේ දෙමාපියන් තම මල් කැකුළුට රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු කළ
  අකල් වියෝව සිදුවූ සැටි මෙසේ විස්තර කළෝය.


                              තිලක්‌ පත්මලාල් මහතා (පියා) ඉන්ද්‍රාණි කුසුමලතා මහත්මිය (මව)

        ‘‘එදා හවස දුවව වෑත්තෑව රෝහලට ඇතුළත් කළේ නෙබුලයිසර් කියන දුම අල්ලන්න.  ඒක අල්ලනකොටම මගේ දුව කෑ ගැහුවා ,අනේ අප්පච්චි හුස්‌ම ගන්න බෑ, කියලා, වෙනදාට දුම අල්ලනකොට එහෙමවෙලා නෑ. මම ප්‍රතිකාර කරන නර්ස්‌ට කිව්වා දුම අල්ලන්න එපා දරුවට අමාරුයි කියලා. මගේ කීම අහන්නෙ නැතුව ළමය බොළඳයි, කියල දුව කෑගහද්දීම දිගටම දුම ඇල්ලුවා. දරුවගේ ඇඟ නිල් වුණා. වාඩිවෙලා හිටපු පුටුවෙන් වැටෙන්න ගියාම මම දුවව අල්ල ගත්තා. දුවගේ ඇස්‌දෙක උඩ ගිහිල්ලා තිබුණා.,
       ‘නෙබුලයිසර් දුම් ප්‍රතිකාරය ලබාදීමත් සමගම සඳුනිගේ රෝගී තත්ත්වය බරපතළ අතට පෙරළුණු ආකාරය පිළිබඳව ඇගේ පියා වන තිලක්‌ පත්මලාල් මහතා එසේ පැවසීය.
      ‘නෙබුලයිසර් දුම් ප්‍රතිකාරය ලබාදීමෙන් පසු සඳුනිගේ ශරීරය අප්‍රාණික වී ඇය සිහිසුන් වූ නිසා ඇයව වාට්‌ටුවක ඇඳක තබා සේලයින් ලබාදීමට රෝහලේ වෛiවරයකු ඇතුළු හෙද කාර්යමණ්‌ඩලය කටයුතු කර ඇති අතර, නෙබුලයිසර් ප්‍රතිකාරය ලබාදෙන විට ගැටලුවක්‌ මතුවීමට ඉඩකඩ ඇති නිසා නිතරම ඔක්‌සිජන් සූදානම් කර තබා ගැනීම වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ වගකීමයි. නෙබුලයිසර් ප්‍රතිකාරය ලබා ගන්නා පුද්ගලයාගේ ශරීරය තුළ වන ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වූ විට කිසියම් ගැටලුවක්‌ ඇති වීමට ඉඩකඩ ඇති බව සඳුනිගේ මව වෙත වෛද්‍යවරයකු පවසා ඇත. එහෙත් සඳුනි දියණියට සිහිය නොපැමිණි නිසාවෙන් ඔක්‌සිජන් ලබාදීමට තීරණය කළ ද, සඳුනි ප්‍රතිකාර ලැබූ වාට්‌ටුවේ සිලින්ඩරවල ඒ වනවිට ඇයට ලබාදීමට ඔක්‌සිජන් පොදක්‌ හෝ තිබි නැත. මේ නිසා වෙනත් වාට්‌ටුවකින් ඔක්‌සිජන් ගෙන ඒමට සිදුවී තිබේ. සඳුනිගේ පණ නල රකින්නට වෙනත් වාට්‌ටුවකින් ඔක්‌සිජන් ගෙනැවිත් ලබා දීමට විනාඩි 15 ක කාලයක්‌ ගත වී ඇත.

      ඔක්‌සිජන් ලබා දුන්නද සඳුනිගේ තත්ත්වයේ සුබවාදී වෙනසක්‌ වී නොමැත. අවුරුදු 17 ක හෙද සේවයේ පළපුරුද්දක්‌ ඇති සඳුනිගේ මව වන ඉන්ද්‍රානි මහත්මිය සඳුනිගේ අත අල්ලා නාඩි පරීක්‍ෂා කර නාඩි අඩු බව කෑ ගසා කීවද රෝහලේ කාර්ය මණ්‌ඩලය ඇයට සැනසුම් වදන් ප්‍රකාශ කර ඇත්තේ ඇය මානසික වියවුලකට පත්ව ඇති බව සිතමිනි.

      සඳුනිගේ තත්ත්වය බරපතළ බව වටහා ගත් වෑත්තෑව රෝහලේ වෛද්‍යවරයා සහ හෙද කාර්ය මණ්‌ඩලයට ඇයව නාගොඩ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය බව පවසා ඒ සඳහා කටයුතු කිරීමට එළැඹුණද ඒ වනවිට වෑත්තෑව රෝහලේ ගිලන් රථ රියැදුරු නිවාඩු ලබා සිටි හෙයින්
   පිඹුර රෝහලෙන් ගිලන් රථයක්‌ ගෙන්වීමට සිදු වී ඇත.  තම දන්නා හඳුනන අය සිටින නිසා කටුගාහේන රෝහලෙන් ඉතා ඉක්‌මනින් ගිලන්රථයක්‌ ගෙන්වා ගැනීමට හැකි බව සිතූ සඳුනිගේ පියා වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව ඉල්ලා සිටියේ තම දරුවා පිළිබඳ වූ නොනිමි සෙනෙහස නිසා මය. එහෙත් වෛද්‍යවරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විනාඩි 10 ක්‌ ඇතුළත ගිලන්රථයක්‌ පිඹුර රෝහලෙන් පැමිණෙන බවයි.

      එහෙත් සඳුනිගේ ජීවිතය බේරා ගැනීමේ ගිලන්රථය පිඹුර රෝහලෙන් එනතුරු තම දියණිය මරු හා යෙදෙන සටන විනාඩි 45 ක්‌ පුරාවට බලා සිටීමට අසරණ දෙමාපියන්ට සිදු වී ඇත.
      ‘වෑත්තෑවේ ඉස්‌පිරිතාලෙ ඉඳල නාගොඩට දුවව ගේන අතරමගදී දොඩංගොඩ හරියේදී දුවගේ නහයෙන් ලේ බිංදු කීපයක්‌ ආ බව  මම වෛද්‍යවරයාට කෑගහල කිව්වා ඒත් ඒ වෛද්‍යවරයා මගේ දුවගෙ පැත්තවත් බැලුවේ නෑ. නර්ස්‌ලගේ කීමටවත් එයා මගෙ දුවට මොකද වෙලා තියෙන්නෙ කියලා බැලුවේ නෑ. මමත් හෙද නිලධාරිනියක්‌ හින්ද දුවව පරීක්‍ෂා කරලා බැලුවා. අනේ මගේ දුව හුස්‌ම ගත්තේ නෑ. ඒ බව කිව්වත් වෛද්‍යවරයා ඇහැක්‌ ඇරලවත් බැලුවේ නෑ. ඒ වෙලාවේ දුවගෙ පපුව තද කරල එයාට හුස්‌ම ගන්න උදව් කළෙත් නෑ. මම ආපහු දුවව පරීක්‍ෂා කරලා බැලුවා. අනේ මගේ දුව අපි හැමෝම දාලා ගිහිල්ලා තිබුණා. මම කෑගල ඇඬුවා මගේ දුව නැතිවෙලා කියලා.

     නාගොඩ රෝහලට දුවව ගෙනැල්ලා හදිසි ප්‍රතිකාර අංශයට දාලා ප්‍රතිකාර කළාට මම හොඳින්ම දැනගෙන හිටියා දුව මට නැතිවුණේ දොඩංගොඩ හරියේදී කියලා. මට බොරුවට මැෂින් දාලා පෙන්නුවා. පස්‌සෙ කිව්වා ඔයාගෙ දුව නැතිවුණා කියලා. දුවව නාගොඩට ගෙනාවට පස්‌සෙ නැතිවුණ විදිහට හැමෝම හැසිරුණා. ඒ ගොල්ලො තමන්ගේ අතින් වුණ ප්‍රමාද ඔක්‌කොම වහගන්න උත්සාහ කළා. මේ හැමදේම සිද්ධ වුණේ වෑත්තෑව ඉස්‌පිරිතාලෙ හිටපු හිතේ තෙතමනයක්‌ නැති වෛද්‍යවරයයි. රෝහලේ විවිධ අඩුපාඩු නිසා වුණු පරක්‌කුවයි හින්දා එක එක අයගේ නොසැලකිල්ලයි
, හිතුමනාපෙට වැඩ කෙරිල්ලයි හින්ද අන්තිමට මට මගේ අහිංසක දරු පැටියා නැති වුණා. එයා මේ අවුරුද්දෙ හතර වසරට යන්න ආසාවෙන් හිටියේ. අපේ හීනත් අරගෙනම දුව යන්නම ගියා

      තම කුසින් වැදූ ආදරණීය දියණියගේ අවසන් හුස්‌ම පොද ආග්‍රහණය කිරීමට සිදුවූ අඳුරු මතකය ඉන්ද්‍රානි කුසුමලතා මහත්මිය එසේ
, ප්‍රකාශ කළේ කඳුළු පිරි දෑසිනි.

     රෝහලක විවිධ අඩුපාඩුත්
, ඇතැම් සෞඛ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාත්, නොසැලකිල්ල නිසා සිදුවන ප්‍රමාදයත් එක්‌ව අසරණ මල් කැකුළියකගේ ජීවිතය සොරා ගැනීමට ගත කළේ නිමේෂයකි. ජීවිතයේ දහසකුත් බලාපොරොත්තු පොදිබැඳ සිහින දකිමින් සිටි දෙමාපියන්ට තමනට සිටි එකම සිඟිතිය ද අද දවසේදී
සිහිනයක්‌ පමණි.

      තම දියණියට සිදුවූ දෙය ඉදිරියේදී තවත් දරුවකුට සිදු නොවන්නට බලධාරීන් මැදිහත් වී කටයුතු කරතැයි සඳුනිගේ දෙමාපියෝ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
     සඳුනිගේ අසරණ ජීවිතයට වගකිව යුත්තෝ කවුරුන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම දහසකුත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ හදවත් විනිශ්චයට භාරවනු ඇත

No comments:

Post a Comment