Friday, December 14, 2012

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්ය වරු පෞද්ගලික රෝහල්වලට මුදා හැරෙති


ඒමන්ති මාරඹේ

පෞද්ගලික රෝහල්වලින් සැපයෙන විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ගුණාත්මක මට්‌ටමින් පවත්වාගෙන යැම සඳහා රජයේ රෝහල් විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වලට මුදාහැරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (13 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත දැනුම්දී තිබේ.

සිංගප්පූරුව හා ඕස්‌ටේ්‍රලියාව යන රටවල රජයේ විශේෂඥ වෛද්‍යවරුන් සතියකට දින කිහිපයක්‌ පෞද්ගලික රෝහල්වලට මුදාහැරීමේ ක්‍රමවේදයක්‌ පවතින අතර ඒ අනුව යමින් මෙරටද එවැනි වැඩපිළිවෙළක්‌ නිසි ක්‍රමවේදයක්‌ යටතේ ක්‍රියාත්මක කරන ලෙසට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමක්‌ මත එය ක්‍රියාත්මක වන බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

පෞද්ගලික රෝහල්වල සේවය කරනු ලබන ඇතැම් විදේශීය ශල්‍ය වෛද්‍යවරුන් විසින් රෝගීන්ට සිදු කරන ලද සැත්කම් වැරැදුණු අවස්‌ථා එමට ඇති බව පෙන්වා දුන් වෛද්‍ය පාදෙනිය මහතා මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක සේවය කරන විදේශීය ශල්‍ය වෛද්‍යවරයකු විසින් සිදුකරන ලද හදවත් සැත්කම් 7 ක්‌ අසාර්ථක වූ බවත් පසුව එම රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවත් සඳහන් කළේය.

දැනට මෙරට පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් යෑයි පිළිගන්නා ඉන්දීය වෛද්‍යවරුන් 184 දෙනකු සේවය කරන බවත් ඔවුන් සහායක විශේෂඥ උප විශේෂඥ හා ප්‍රධාන විශේෂඥ යනුවෙන් වර්ග කර ගෙන ඇති බවත් හෙතෙම කීවේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවම සුදුසුකම් නිර්වචනය කර නීතිගත කිරීම කඩිනම් කිරීම, පෞද්ගලික අංශය අයෑදුම් කරන විශේෂඥ වෛද්‍යවරුන් හා එම වෛද්‍යවරුන්ගේ නියමිත සුදුසුකම් ඇගැයීමේ ක්‍රියාවලිය නීතිගත කිරීමේ පටිපාටිය කඩිනම් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (13 දා) වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බව වෛද්‍ය පාදෙනිය පැවසීය.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (13 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
 

http://www.divaina.com/2012/12/14/news27.html

No comments:

Post a Comment