Friday, December 7, 2012

සබරගමුවට හෙද හෙදියන් පිටින් බාර ගැනීමට සූදානම්


December 5, 2012  01:19 pm



සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අනුමත හෙද කාර්යය මණ්ඩලය 1168 දක්වා ඉහළ දැමීමට මහා භණ්ඩාගාරය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කර තිබේ.

සබරගමු මහ ඇමති සහ පළාත් සෞඛ්‍ය ඇමති මහිපාල හේරත් මහතා මාවනැල්ල රෝහලේ අඩුපාඩු සෙයා බලමින් එය තව දුරටත් සංවර්ධනය කරනු වස් කැඳවා තිබුණු සාකච්ඡාවකදී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා මේ බව කියා සිටියේය.

මූලික රෝහල් 7ක් ඇතුළු දිසා රෝහල් හා ග්‍රාමීය රෝහල් රැසක් සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන බවත්, සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්මේන්තුවට අනුමත හෙද සංඛ්‍යාව 968 ක් බවත් සඳහන්ය.

එහෙත් පළාත් සභා රෝහල්වල මෑතකාලීන භෞතික දියුණුවට සමගාමීව හෙද සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර සෑම රෝහලකම පාහේ හෙද හිඟය පවතියි.

මෙම හිඟය අවසන් කිරීම සදහා සබරගමුවේ අනුමත හෙද කාර්යය මණ්ඩලය වැඩි කරගැනිමට පසුගිය වසර ගණනාව පුරා සබරගමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් මහා භණ්ඩාගාරය සහ කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුවෙන් දිගින් දිගටම ඉල්ලා තිබුණු බව වෛද්‍ය කන්නංගර මහතා කියා සිටියි.

කෙසේ වෙතත් මෙවර පළාත් සභා මැතිවරණයෙන් පසු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මහ ඇමවරයා යටතට පත්වූ බවත්, එතුමා මහා භණ්ඩාගාරය සහ කළමනාකරණ සේවා දෙපාර්මේන්තුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව සබරගමුවට අනුමත හෙද සංඛ්‍යාව තව 200කින් එනම් 1168 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වු බවත් කන්නංගර මහතා සඳහන් කළේය.

ඉදිරි කලය තුළ හෙද අභ්‍යාස විද්‍යාල හරහා සබරගමුවේ අලුතින් ඇති වු පුරප්පාඩු 200 සපුරා ගන්නා තුරු වෙනත් පළාත් වලින් සබරගමුවට සේවා ස්ථාන මාරු ලබා පමිණීමට කැමති හෙද හෙදියන් තම පළාතට භාරගැනීමට තිරණය කර ඇතැයි ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වාදෙයි.

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය ලේකම් කේ.ඒ.එස් කීරගල, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ගාමිණී සෙනවිරත්න යන මහත්වරුද සහභාගී වූහ.

 
http://sinhala.adaderana.lk/news.php?nid=29731





 

No comments:

Post a Comment