Saturday, December 15, 2012

සිත් තැවුලට පත්ව එංගලන්තයේ කින්ග් එඩ්වර්ඩ් රෝහලේ හෙදියක වූ ජසින්තා සැල්ඩැන්හා සිය දිවි නසා ගනී


දුරකථනයෙන් ලණු දෙන්නන්ට එංගන්තයෙන් පාඩමක්‌

ඕස්‌ට්‍රේලියානු ගුවන් විදුලි නාලිකාවක නිවේදකයින් දෙදෙනකු විසින් තමන් එලිසබෙත් මහ රැජින හා චාල්ස්‌ කුමරු බවට හඳුන්වා දෙමින් ලබා දුන් ව්‍යාජ දුරකථන ඇමතුමකට රැවටී විලියම් කුමරුගේ බිරිය වූ කේට්‌ මිඩ්ල්මන් ගේ අසනීප තත්ත්වය හෙළිදරව් කිරීමට සිදුවීම පිළිබඳව සිත් තැවුලට පත්ව එංගලන්තයේ කින්ග් එඩ්වර්ඩ් රෝහලේ හෙදියක වූ ජසින්තා සැල්ඩැන්හා සිය දිවි නසා ගැනීමේ පුවත මේ වන විට ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබේ.

 
මෙම සිදුවීමත් සමගම අදාළ ව්‍යාජ දුරකථන ඇමතුම ලබාදුන් ඕස්‌ට්‍රේලියානු ගුවන් විදුලි නාලිකාවක්‌ වන "ටුඩේ එෆ් එම්" සේවයෙහි සේවය කරන මෙල් ග්‍රේග් හා මිචෙල් ක්‍රිස්‌ටියන් යන නිවේදකයින් දෙදෙනාගේ සේවය තහනම් කරන ලෙසට ඕස්‌ට්‍රේලියානු සන්නිවේදන හා ජනමාධ්‍ය අධිකාරිය වෙත මහජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන්නට පටන් ගෙන තිබේ.

ජීවිතයක්‌ අහිමි කිරීමට තරම් මුල් වූ මෙම සිදුවීම හරහා ලොවපුරා විද්යුත් මාධ්‍යයන්හි සදාචාරය පිළිබඳව කතිකාවක්‌ හට ගෙන තිබේ. මෙම සිද්ධියට මුල්වී ඇත්තේ ලන්ඩනයේ කින්ග් එඩ්වඩ් රෝහලේ ගර්භනී සමයේ සංකූලතාවන්ට ප්‍රතිකාර ලැබීම සඳහා එම රෝහලට ඇතුළත්ව සිටි බ්‍රිතාන්‍යයේ කේම්බිඡ් හි ආදිපාදවරයා හා ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන කේට්‌ මිඩ්ල්ටන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ගත් උත්සාහයකි.

ඉකුත් 04 වැනි අඟහරුවාදා අලුයම 5.30 ට පමණ තමන් එලිසබෙත් මහ රැජින හා චාල්ස්‌ කුමරු බව හඳුන්වාදෙමින් මෙල් ග්‍රේග් හා මයිකල් ක්‍රිස්‌ටියන් යන නිවේදකයින් දෙදෙනා තම කටහඬ වෙනස්‌ කරලමින් කින්ග් එඩ්වඩ් රෝහලට දුරකථන ඇමතුමක්‌ ලබාදෙමින් කේට්‌ගේ සුවදුක්‌ විමසා තිබේ. එම අවස්‌ථාවෙහි රෝහලේ පිළිගැනීමේ කවුළුවෙහි සිට එම ඇමතුමට පිළිතුරු දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක්‌ වන ජසින්තා සැල්ඩැන්හා විසිනි. ජසින්තා එම දුරකථන ඇමතුම ලබා දුන්නේ සත්‍ය වශයෙන්ම එලිසබෙත්a රැජින හා චාල්ස්‌ කුමරුන් විසින් යෑයි සිතා ඇමතුම කේට්‌ මිඩ්ල්ටන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්‌ටුව වෙත යොමුකර ඇති අතර වාට්‌ටුවේ හෙදියක විසින් විනාඩි 2 ක්‌ පුරා කේට්‌ ගේ සුවදුක්‌ හා ප්‍රතිකාර තොරතුරු ඇමතුම දුන් අය වෙත ලබා දී තිබේ. මෙම දුරකථන ඇමතුමට සම්බන්ධ සංවාදයන් ගුවන්විදුලි ප්‍රේක්‍ෂකයන්ට ශ්‍රවණය කිරීම සඳහා සජීවීව පටිගත කර ප්‍රචාරය කර තිබිණි. තමන් ව්‍යාජ දුරකථන ඇමතුමකට රැවටී රාජකීය පවුලෙහි සාමාජිකයකුගේ තොරතුරු ලබා දුන් බව දැන ගත් පසු දැඩිසේ සිත් තැවුලට පත්ව සිටි ජසින්තා ඉකුත් සිකුරාදා රෝහලේදීම සිය දිවි නසාගෙන ඇත. 46 හැවිරිදි වියෙහි පසුවන ඇය දෙදරු මවකි. දක්‍ෂ අවංක ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක්‌ වශයෙන් රෝහල් කාර්ය මණ්‌ඩලය තුළ ප්‍රසාදය දිනාගෙන සිටි ජසින්තා කින්ග් එඩ්වඩ් රෝහලේ සේවයට බැඳී ඇත්තේ මෙයට සිවු වසරකට පමණ පෙරදීය. එතැන් සිට ඇය දහස්‌ ගණනක්‌ වූ රෝගී ජනතාවගේ සුබ සිද්ධිය තකා රෝගී සත්කාර සේවාවන්හි නිරත වූ දක්‍ෂ හෙද නිලධාරිනියක ලෙස රෝහල තුළ ප්‍රකටව සිටියාය. රෝහල අසල අසාධ්‍ය තත්ත්වයෙන් ඇද වැටී සිටියදී ඉකුත් සිකුරාදා ජසින්තාව සොයා ගැණුනු අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය කාර්යමණ්‌ඩලය දැඩි පරිශ්‍රමයක යෙදී තිබිණි. එහෙත් ඇය එම ස්‌ථානයේදීම මිය ගිය බවට නිවේදනය කෙරිණි. ජසින්තාගේ මරණය සිය දිවි නසා ගැනීමක්‌ සේ සැළකුණද සිදු වූ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසීරු බවත් කෙසේ වුවද එම මරණය සැක සහිත වූවක්‌ සේ නොසළකන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙම අවාසනාවන්ත මරණය පිළිබඳව සැලවීමත් සමගම බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙහි සාමාජිකයන් බ්‍රිතාන්‍යවාසීන් මෙන්ම ලොව පුරා විශාල පිරිසක්‌ දැඩි කනස්‌සල්ලට පත්වූ බව වාර්තා විය. මෙම මරණයට මුල් වූ ව්‍යාජ දුරකථන ඇමතුම ලබා දුන් ගුවන් විදුලි නිවේදකයන් දෙදෙනාට මේ වන විට වැඩි දෙනාගේ අප්‍රසාදය පළ වී තිබේ. ඔවුන් දෙදෙනාව සේවයෙන් නෙරපිය යුතු බවට ජනමාධ්‍යයෙන් හා මහජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව නිවේදනය කර ඇති ඔස්‌ට්‍රේලියානු සන්නිවේදන හා ජනමාධ්‍ය අධිකාරිය එම සිද්ධිය පිළිබඳව තවමත් විධිමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ නොකළ බව පවසයි. කෙසේ වුවද මේ සම්බන්ධව අදාළ නිවේදකයින් දෙදෙනා සේවය කරනු ලබන ඕස්‌ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි "ටු ඩේ එෆ්.එම්." ගුවන් විදුලි සේවා බළධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව එම අධිකාරය සඳහන් කර සිටී.

මේ අතර "ටු ඩේ එෆ්. එම්." ගුවන්විදුලි සේවයෙහි අයිතිකරුවන් වන "සදර්සන් ක්‍රොස්‌ ඔස්‌ටිරියෝ" සමාගම විසින් මිය ගිය හෙදියට ව්‍යාජ දුරකථන ඇමතුමක්‌ ලබා දුන් නිවේදකයන් දෙදෙනාව ආරක්‍ෂා කරමින් පවසා ඇත්තේ එම දුරකථන ඇමතුම හරහා ගුවන් විදුලි සේවය කිසිදු නීතියක්‌ කඩ කර නොමැති බවයි. එම සමාගමෙහි ප්‍ර්‍රධාන විධායක නිලධාරි රිස්‌ හොලෙරන් ඉකුත් සෙනසුරාදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ හෙද නිලධාරිනියගේ මරණය පිළිබඳව තම සමාගම දැඩි සේ කම්පාවට පත්වන බවත් එම මරණය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක්‌කක්‌ බවයි.

තමන් පුද්ගලිකවම එම ව්‍යාජ ඇමතුම දුන් නිවේදකයින් දෙදෙනාට කථා කළ බව පවසා ඇති ඔහු ඔවුන් මේ වන විට සිද්ධිය පිළිබඳව දැඩි කම්පාවට පත්ව සිටින බව සඳහන් කර තිබේ. මරණයකට හේතුවූ අදාළ නිවේදකයින් දෙදෙනා සේවයෙන් නෙරපිය යුතු බවට මේ වන විටත් ඔස්‌ට්‍රේලියානු ජනමාධ්‍යයන් අතර දැඩි මතයක්‌ ගොඩනැගෙමින් පවතී. එහෙත් "ටුඩේ එෆ්.එම්." ගුවන් විදුලි බළධාරීන් පෙන්වා දෙනුයේ මෙවැනි ව්‍යාජ දුරකථන ඇමතුම් හරහා තොරතුරු ලබාගැනීමේ වැඩසටහන තම ගුවන්විදුලි සේවාවට පමණක්‌ සීමා වුවක්‌ නොව එය දශක ගණනාවක්‌ පුරා ලොව පුරා රටවල ගුවන් විදුලි සේවාවන් ඔස්‌සේ විකාශනය කෙරෙන වැඩසටහනක්‌ බවයි.

කෙසේ වුවද හෙද නිලධාරිනියගේ මරණයෙන් පසු ටු ඩේ එෆ්. එම්. ගුවන් විදුලියට වෙළෙඳ දැන්වීම් ලබාදුන් සුපිරි වෙළෙඳසැල්, සිසිල් බීම හා ප්‍රකට ජනසන්නිවේදන ආයතනයක්‌ වන ටෙල්ස්‌ට්‍රා වැනි දැන්වීම් ආයතන මේ වන විටත් එම ගුවන් විදුලි සේවාව හැර ගොස්‌ ඇති බව වාර්තා වී තිබේ. මෙම ව්‍යාජ දුරකථන ඇමතුම ලබාදුන් මෙල්ග්‍රේග්, හා මිචෙල් ක්‍රිස්‌ටින් යන නිවේදකයින් දෙදෙනාම වයස අවුරුදු විසි ගණන්වල පසුවන නවකයන් වන අතර ඔවුන් දෙදෙනාම හෙද නිලධාරිනියගේ මරණය සම්බන්ධව සමාව ඉල්ලා තිබේ. තමන් කටහඬ වෙනස්‌ කරමින් කින්ග් එඩ්වඩ් රෝහලට ලබා දුන් දුරකථන ඇමතුම කේට්‌ මිඩ්ල්ටන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්‌ටුවට යොමු කරනු ඇතැයි කිසිසේත් නොසිතූ බව පවසා ඇති ඔවුන් තමන්ගේ වචන උච්ඡාරණ ශෛලිය මත එම දුරකථන ඇමතුම පිළිතුරක්‌ නොලබාම විසන්ධි කරනු ඇතැයි මුලදී සිතූ බව සඳහන් කර සිටිති.

එම ඇමතුම හරහා මෙවැනි තත්ත්වයක්‌ නිර්මාණය වීම පිළිබඳව අප දැඩි සේ කණගාටු වෙනවා. කේට්‌ හොඳින් සිටින බව දැන ගන්නට ලැබීම සතුටක්‌ යෑයි එම නිවේදකයින් දෙපල ප්‍රකාශ කර සිටිති.

මෙවැනි ව්‍යාජ දුරකථන ඇමතුම් හරහා තොරතුරු ලබා ගැනීමේ වැඩසටහන් පිළිබඳව මේ වන විට ජනතා විරෝධයක්‌ මතුව තිබුණද ඒබීසී සේවයෙහි "මීඩියා වොච්" වැඩසටහන ඉදිරිපත් කරන ජොනතන් හෝම්ස්‌ බීබීසී ගුවන් විදුලියට ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය සම්බන්ධ නිවේදකයින් සේවය කරන ටුඩේ එෆ් එම් ගුවන් විදුලිය වයස අවුරුදු 15-26 අතර වයස්‌ කාණ්‌ඩයේ තරුණ පිරිස්‌ අතර ජනප්‍රිය ගුවන් විදුලි සේවාවක්‌ බවයි. මෙවැනි ව්‍යාජ දුරකථන ඇමතුම් හරහා තොරතුරු ලබා ගැනීමේ වැඩසටහන හරහාම එම ගුවන් විදුලිය දැඩි ප්‍රසිද්ධියක්‌ ලබාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර මිය ගිය ජසින්තා නමැති හෙද නිලධාරිනියගේ මරණය සැලවීමත් සමගම විලියම් කුමරු හා කේට්‌ මිඩ්ල්ටන් ඒ පිළිබඳව දැනගැනීමෙන් තමන් දැඩි සංවේගයට පත්වූ බව නිවේදනය කර තිබිණි. මේ වන විට ජසින්තාගේ මරණය පිළිබඳව සංවේගයට පත් ජනතාවගෙන් ලැබෙන මල් පොකුරුවලින් කින්ග් එඩ්වඩ් රෝහලේ හෙද අංශය පිරී ඉතිරී ගොස්‌ තිබේ. එම මල් පොකුරු අතර ඇති ජසින්තාගේ සහෝදර හෙද හෙදියන් විසින් තබන ලද රතු, සුදු නිල් වර්ණයන්ගෙන් යුතු මල් පොකුරක සඳහන් කර ඇත්තේ "දයාබර ජසින්තා" මෙම අවස්‌ථාවේ අප සැවෝම ඔබ හා ඔබගේ පවුලේ සාමාජිකයන් සමග සිටිනවා. ඔබගේ ආත්මයට අප යාඥ කරනවා දෙවි පිහිටයි යනුවෙනි.

ඒමන්ති මාරඹේ

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතෙහි පළමු ලිපියක්‌ ඇසුරිනි

http://www.divaina.com/2012/12/16/diyaga05.html

No comments:

Post a Comment