Saturday, December 8, 2012

ජාතික සෞඛ්යද ප්රනතිපත්තිය සඳහා පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ක්රිඅයාත්මක කරනවා - සෞඛ්යන අමාත්යය මෛත්රිපපාල සිරිසේන


ප්‍රශ්නය; ආයුර්වේද වෛද්‍යවරියක විසින් ඩෙංගු රෝගය සඳහා ඖෂධයක්‌ සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා. දේශීයවත් විදේශීයවත් කිසිදු ප්‍රතිකාරයක්‌ නොමැති ඩෙංගු රෝගය සඳහා සොයා ගෙන ඇති මෙම ඖෂධය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර; මෙහෙමයි, මෙම ඖෂධය දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් සහතික වී එනවා නම් අපිට පිළිගන්න පුළුවන්. මෙහෙම බෙහෙත් වර්ග පිළිබඳව විවිධ අවස්‌ථාවලදී වාර්තා වී තිබෙනවා. එම නිසා ඒ පිළිබඳව පිළිගත් වාර්තාවක්‌ අවශ්‍ය වෙනවා.

කෙසේ වුවත් මෙවැනි සොයා ගැනීම් අප අගය කළ යුතු වනවා. ඒ වගේම එවැනි කටයුතුවල යෙදෙන අයට ඒ පිළිබඳ ගෞරවයක්‌ මෙන්ම තව තවත් දිරි ගැන්වීම් ලබාදිය යුතු වනවා.

ප්‍රශ්නය; ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා කියුබාවෙන් ආයතනය කරන ලද බී.ටී.අයි. බැක්‌ටීරියාව ගුවනින් ඉසීමට සූදානම් වන බව පසුගිය දිනවල වාර්තා වූවා. මෙම කටයුත්ත තවදුරටත් සිදුනොවීම සඳහා බලපා ඇති හේතුව කුමක්‌ද?

පිළිතුර; අපි සාමාන්‍යයෙන් බී.ටී.අයි. බැක්‌ටීරියාව ගුවනින් ඉසීම සඳහා සැලසුම් කරල තිබෙන්නේ ජනවාරි මාසයේදී. කියුබානු තානාපති කාර්යාලය සමඟත් අපි ඒ පිළිබඳව කටයුතු කරමින් සිටිනවා.

අපිට මෙම කටයුත්ත සඳහා යොදා ගැනීමට සිදුවී තිබෙන්නේ බෙල් වර්ගයේ හෙලිකොප්ටර් යානා. නමුත් ඒ සඳහා කියුබාව විසින් යොදා ගෙන තිබෙන්නේ වෙනත් වර්ගයක හෙලිකොප්ටර් යානා වර්ගයක්‌. එම නිසා එම ගුවන් යානා මගින් බී.ටී.අයි. බැක්‌ටීරියා ගුවනින් ඉසීමට යොදා ගත් උපකරණ බෙල් හෙලිකොප්ටර් සඳහා යොදා ගැනීමේ ප්‍රශ්නයක්‌ මතු වී තිබෙනවා. එම ප්‍රශ්නය මගහරවා ගැනීම සඳහා ඊට අවශ්‍ය උපකරණ සවි කිරීමේ කටයුත්ත ගුවන් හමුදාව විසින් කරගෙන යනවා.

වාර්තා වන ආකාරයට පසුගිය වසරවල දී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක්‌ වාර්තා වී තිබෙන්නේ ජනවාරි මාසයේ දී. එම නිසා එම බැක්‌ටීරියාව ජනවාරි මාසයේ දී ඉසීමට කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය; ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා යොදා ගන්නා දුම් ඉසීමේ යන්ත්‍ර 100 ක්‌ මිල දී ගැනීම සඳහා සිදුකරන ලද ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව වාර්තා වෙනවා.

මෙම අක්‍රමිකතාවය මගහැරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර; පුවත්පත්වලින් මෙන්ම අදාළ භාණ්‌ඩ සැපයීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් වලිනුත් මට මේ පිළිබඳව පැමිණිලි ලැබී තිබෙනවා.

එම තත්ත්වය තුළ මම තීරණය කළා ටෙන්ඩරය අත්හිටුවා පරියේෂණයක්‌ සිදුකිරීමට. එම පර්යේෂණයෙන් පසුව මේ පිළිබඳව තීරණයක්‌ ගන්නවා.

ප්‍රශ්නය; රජයේ රෝහල් සඳහා බාල බෙහෙත් වර්ග නිකුත් කරනවා යන චෝදනාවත් විටින් විට එල්ල වනවා. මෙම චෝදනාව පිළිබඳව කුමක්‌ද කියන්න තිබෙන්නේ?

පිළිතුර; කොහෙද බාල බෙහෙත් තිබෙන්නේ. මෙම චෝදනා තනිකරම මඩ ප්‍රචාර. මෙම බොරු චෝදනා විලාසිතාවක්‌ බවට පත්කර ගැනීමට සමහරුන් උත්සාහ දරනවා.

ප්‍රශ්නය; සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ දුරාචාර කටයුතු බහුලව සිදුවනවා යන චෝදනාව ඔබ විසින්ම කර තිබුණා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන තිබෙන පියවර කුමක්‌ද?

පිළිතුර; පසුගිය සතියෙත් ඒ පිළිබඳව පැමිණිලි කිහිපයක්‌ම ඉදිරිපත් වී තිබෙනවා. මෙම හිංසන කටයුතු පිළිබඳව විමසා බැලීම සඳහා අප විශේෂ ඒකකයක්‌ පිහිටුවා තිබෙනවා. මින් ඉදිරියට මෙබදු චෝදනා ඉදිරිපත් වූ පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආයතන ප්‍රධානින්ට උපදෙස්‌ දීල තිබෙනවා.

ප්‍රශ්නය; ලබන දෙසැම්බර් 10 සිට 17 දක්‌වා ජාතික සෞඛ්‍ය සතිය ලෙස නම්කර තිබෙනවා. මේ යටතේ සැලසුම් කර ඇති කටයුතු මොනවාද?

පිළිතුර; සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පළාත් සභාවත්, රාජ්‍ය ආයතනත් සමඟ ඒකාබද්ධව ජාතික සෞඛ්‍ය සතියේ කටයුතු සිදුකිරීමට සැලසුම් කරලා තිබෙනවා.

ඒ වගේම 2013 සිට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පස්‌ අවුරුදු ජාතික සෞඛ්‍ය සැලැස්‌මක්‌ පිළියෙල කරල තිබෙනවා. එම සැලැස්‌ම දෙසැම්බර් 10 වැනි දා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා. පසුගිය අවුරුදු 2 ක කාලය තුළ අපි ඒ සඳහා කටයුතු කළා.

කිසිදාක සෞඛ්‍ය කටයුතු සඳහා ජාතික සැලැස්‌මක්‌, පස්‌ අවුරුදු වැඩපිළිවෙළක්‌ තිබුණේ නැහැ. පළමු වතාවට තමයි එබඳු සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වන්නේ.

ප්‍රශ්නය; 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතුය යන උද්ඝෝෂණය යළිත් ප්‍රබල ලෙස ඉස්‌මතු වී තිබෙනවා. 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය ඉදිරිපත් වූ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ඊට එරෙහි වූවා. දැන් ඇතිවී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස දකින්නේ කෙසේද?

පිළිතුර; ඒක හරි, නමුත් මේ වන විටත් අපට 13 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්‌ථාවක්‌ ඇති වී නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් පවතින යථාර්ථය අපි පිළිගත යුතු වනවා.

එහෙත් 13 වැනි සංශෝධනය සංශෝධනය විය යුතු වනවා. විශේෂයෙන්ම මුදල් රෙගුලාසි පිළිබඳව 1947 දී ඉදිරිපත් වූ සෝල්බරි ව්‍යවස්‌ථාව මෙන්ම 1972 සහ 1978 සම්මත වූ ව්‍යවස්‌ථාවත් විවිධ අවස්‌ථා වල සංශෝධනය වී තිබෙනවා. නමුත් 13 වැනි සංශෝධනය සම්මත වී වසර 25 ක කාලයක්‌ ගතවී ඇතත් කිසිදු සංශෝධනයක්‌ සිදුවී නැහැ. මෙහි අඩු පාඩු තිබෙනවා. ඒවා නිවැරැදි විය යුතුයි.

ප්‍රශ්නය; පවතින ව්‍යවස්‌ථාව සඳහා 19 වැනි සංශෝධනයක්‌ ගෙන එන බව වාර්තා වන්නේ ඒ සඳහා ද?

පිළිතුර; එහෙම දෙයක්‌ ගැන තවම හිතලවත් නැහැ.

ප්‍රශ්නය; ලබන වසරේ මාර්තු මාසයේ දී එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුව රැස්‌වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මුණගැසීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්‌ ද?

පිළිතුර; ඕන කෙනෙකුට ඕන කෙනෙක්‌ හම්බ වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිගත යුතු වනවා. රට කැඩීම සඳහා ඒ අනුව කිසිදු අයිතියක්‌ නැහැ. සමහරුන් මැරිච්ච කොටියා ගොඩගන්න තමයි උත්සාහ කරන්නේ.

ප්‍රශ්නය; යම් යම් හේතු නිසා යළිත් අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳව කසුකුසුවක්‌ ඇති වී තිබෙනවා නේද?

පිළිතුර; මම ඒ ගැන නම් මොකුත්ම දන්නේ නැහැ.

ප්‍රශ්නය - පසුගිය සතියේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ 54 වැනි සම්මේලනය පැවැත්වූවා. එම අවස්‌ථාව ආවරණය කිරීම සඳහා සමහර මාධ්‍ය ආයතනවලට අවස්‌ථාව ලබා නොදීම පිළිබඳවත්, එම සම්මේලනයේදී පැවැති ඡන්ද ගණනය ආකාරය පිළිබඳවත් විවිධ විවේචන එල්ලවී තිබෙනවා.

මෙම තත්ත්වයන් ඔබ දකින්නේ කොයි ආකාරයට ද?

පිළිතුර - විරුද්ධ පක්‍ෂය වගේම මේ රටේ ඇතැම් අය අපගේ ආණ්‌ඩුවේ අඩුපාඩුකම් පිළිබඳව තමයි කතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියල තමයි කියන්නේ. නමුත් මෙම සිදුවීමෙන් බොහොම පැහැදිලිව පෙනෙනවා එක්‌සත් ජාතික පක්‍ෂය රාජ්‍ය බලය නැතිව පවා හැසිරෙන්නේ කොහොමද කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා වසර 6 කින් කාලය දීර්ඝ කර ගත්තා. ඒ කියන්නේ ඉදිරි වසර 6 ක කාලය තුළ ඒ පිළිබඳව කිසිදු මැතිවරණයක්‌ නෑ. මෙබඳු පුද්ගලයකු බලයට පත් වුවහොත් කටයුතු කරන්නේ කොහොමද කියන එක අවබෝධ කර ගැනීමට මේක හොඳ අවස්‌ථාවක්‌ වී තිබෙනවා. ඒ වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයේ පොදු නියෝජනයට අවස්‌ථාව නොතබා ඔවුන්ට ඡන්දය ලබාගන්න පුළුවන් අයට පමණක්‌ මෙම සම්මේලනයට සහභාගිවීමේ අවස්‌ථාව ලබාදී තිබෙනවා. එතනම පක්‍ෂ අභ්‍යන්තරයේ සහ සාමාජිකයන්aගේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී තිබෙනවා. ඊළඟට ඡන්ද ගණනය කිරීම පිළිබඳවත් බරපතළ චෝදනා තිබෙනවා. මේ සියලු කරුණුවලින් පැහැදිලි වනවා එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙම සම්මේලනය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලින් ඈත් වී පවත්වපු එකක්‌ බව.

එසේ වුවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ අතීතය දන්නා කිසිදු පුද්ගලයකුට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්‌වභාවය පිළිබඳව අමුතුවෙන් අවබෝධ කරගැනීමට දෙයක්‌ නැහැ. නමුත් නව පරපුරේ සමහරුන් එක්‌සත් ජාතික පක්‍ෂයේ සැබෑ ස්‌වභාවය කුමක්‌ද කියන එක හඳුනාගෙන නැහැ. ඊට හේතුවී තිබෙන්නේ මෑතකදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ බලයට පත් නොවීමයි. එම පසුබිම තුළ නව පරපුරේ අයටත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය කුමක්‌ද, එම පක්‍ෂයේ හැසිරීම කුමක්‌ද, ඔවුන්ගේ මාධ්‍ය සදාචාරය කුමක්‌ද යන්න අවබෝධ කරගැනීමට පසුගිය සතියේ පැවැති ඔවුන්ගේ සම්මේලනය හොඳ අවස්‌ථාවක්‌ වී තිබෙනවා.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයේ 54 වන සම්මේලනය පැවැති එම පක්‍ෂයේ මූලස්‌ථානය වූ "සිරිකොත" ට විශාල හමුදා සහ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදී තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කටයුතු කරන එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් චෝදනා කරනවා රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම එම පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කිරීම ආණ්‌ඩුවට වාසිදායක නිසා ඔහු ආරක්‍ෂා කිරීමට එම ආරක්‍ෂාව සිරිකොතට ලබාදුන්නු බව.

මෙම චෝදනාව ඔබ දකින්නේ කොයි ආකාරයටද?

පිළිතුර - එක රටේ සාමාන්‍ය නීතිය ඕනෑම පුද්ගලයකුට පොලිසියට කතා කරල තමන්ට අවශ්‍ය ආරක්‍ෂාව සලසා ගන්න පුළුවන්කම තිබෙනවා. එසේ නොමැතිව ආණ්‌ඩුව නියෝග කළේ නැහැ සිරිකොත ආරක්‍ෂා කරන්න කියලා.

මීට කලින් අවස්‌ථාවක සිරිකොත ඇතුළේ ගල් ගහ ගත්තනේ. ඒ වගේ තත්ත්වයක්‌ ඇති වනවා නම් වඩාත් හොඳයිනේ අපට. එබඳු අවස්‌ථා වැළැක්‌වීම සඳහා අප ආරක්‍ෂාව ලබාදෙනවද?

ප්‍රශ්නය - අග්‍රවිනිශ්චයකාරතුමියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දොaෂාභියෝගය පදනම් කරගනිමින් ආණ්‌ඩුවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතිනවා. පළිගැනීමේ ෙච්තනාවෙන් මෙම දොaෂාභියෝගය ඉදිරිපත්වී ඇති බවත්, එමෙන්ම අග්‍ර විනිශ්චයකාරතුමියට චෝදනා එල්ල කරන පාර්ශ්වයන් විසින්ම එම චෝදනා විභාග කරන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා නේද?

පිළිතුර - ඔය චෝදනා එල්ල කරන විපක්‍ෂයම, එම කටයුතු කළානේ. දොaෂාභියෝගය කියන එක ව්‍යවස්‌ථාවට ඇතුළත් කරලත්, ඒ වගේම නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දොaෂාභියෝගයත් ඉදිරිපත් කළේත් ඔවුන්ම තමයි. දැන් මොනවද මේ කතා කරන්නේ. ඔවුන් දැන් කතා කරන විට උඩුයටිකුරු වනවා.

සාකච්ඡා කළේ -
එරික්‌ ගාමිණී ජිනප්‍රිය

http://www.divaina.com/2012/12/09/politics04.html

No comments:

Post a Comment