Tuesday, March 13, 2012

රහස්‌ වාර්තාව!

කළුබෝවිල රෝහල හෙවත් දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයෙහි විෂබීජය පැතිර යන්නේය යන ආරංචියට එම ඒකකය වසා දමන ලද අතර එය මේ සතිය තුළ නැවත වතාවක්‌ විවෘත කිරීමට නියමිතය. විෂබීජයක්‌ පැතිර ගිය බව ආරංචි වූයේ එය (විෂබීජය) නිවේදනයක්‌ ද කරගෙන පැතිර ගිය නිසා දැයි පාඨකයා අපෙන් විමසීමට ඉඩ තිබේ. එයට අපේ පිළිතුර වන්නේ පසුගිය කාලයේදී පෙර කී නොමේරූ ළදරු ඒකකයට ගෙනා දරුවන් බහුල වශයෙන් රෝගී වූ අතර එය එහි විෂබීජයක්‌ මගින් සිදු වූ බව වෛද්‍යවරුන් උපකල්පනය කළ බවය.


ගාල්ලේ මහමෝදර ශික්‍ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේද පසුගියදා ළදරු මරණ සමූහයක්‌ සිදුවිය. මාස 2 ක්‌ තුළ මේ ඒකකයේ මියගිය ළදරුවන් ගණන 13 කි. පසුව එම ඒකකය වසා දමන ලදී. මේ ගැන කරුණු කීමට ඊයේ (13 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මෙයට සහභාගි වූහ. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයත් වාර්තාවක්‌ සකස්‌ කර ඇති බව කී ඔවුහු මියගිය දරුවන් 13 දෙනාගෙන් දෙදෙනෙක්‌ පමණක්‌ වෛරස්‌ ආසාදනයක්‌ නිසා මළ බවත් සෙසු දරුවන් 11 දෙනාම ඔවුන්ට ආවේණික ශාරීරික දුර්වලතා නිසා මළ බවත් කීහ. ඔවුන් අත තිබූ වාර්තාව මාධ්‍යවලට නොපෙන්වන ලදී. එය ඉල්ලා සිටි විට වැඩ අධික ලේකම් සහ අධ්‍යක්‍ෂ යන්නට ගියහ.


මේ නිසාම මේ වාර්තාව ගැන සැක කිරීමේ අයිතිය මාධ්‍යයට ලැබේ. මේ වාර්තාවේ කිසිදු රහසිගත කාරණයක්‌ තිබෙන්නට ඉඩ නැත. රහසිගත කාරණා තිබිය යුත්තේ ටෙන්ඩර ගනුදෙනු, විනය පරීක්‍ෂණ යනාදියෙහි පමණි. නොමේරූ ළදරු ඒකකයෙහි මරණ සිදුවූයේ නම් සහ වාර්තාව සකසන ලද්දේ ඒ මරණවලට හේතු සෙවීමට නම්, ඒ මරණ වූ ආකාරය වාර්තාවෙහි තිබෙන්නට ඇත. පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍ය සේවා ප්‍රධානීන් එය මාධ්‍යයට සඟවන ලද්දේ මරණවල වැඩි වගකීම රෝහල් පාර්ශ්වයට පැවරෙන නිසා විය යුතුය. මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකය තුළ පසුගිය අවුරුදු ගණනාව තුළම මෙසේ ළදරුවන් මළේ නැත. හිටි හැටියේම දෙමසක්‌ තුළ දරුවන් 13 දෙනකු මළේ නම් එය ඉතා බරපතළ කාරණයකි. මියගිය දරුවන්ගෙන් එකොළොස්‌දෙනෙක්‌ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙහි සිටි වූ බව පිළිගැනීමට නොහැක. රෝහල් පහසුකම් මේ තරමට වර්ධනය වී නොතිබූ අතීතයේදීත් මේ ආකාරයට පෝළිමේ දරුවන් නොමළේ නම් දැන් පමණක්‌ එය සිදුවන්නේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහසට දක්‌වන කාරණාව අව්‍යක්‌තය.


සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යනු ඉතා සංවේදී ක්‍ෂේත්‍රයකි. ඉතා සුළු කාරණයකින් වුව මිනිසකු මියයැමට ඇති ඉඩකඩ මේ ක්‍ෂේත්‍රය තුළ ඇති ඉතාම අවදානම් තත්ත්වයයි. ඒ තාක්‌ දොස්‌තරට වැඳගෙන සිsටි ලෙඩාගේ භාරකරුවෝ එතැන් පටන් දොස්‌තරට සලකන්නේ තම ජාති වෛරකාරයකු ලෙසය. එබැවින් ඇත්ත ඇති සැටියෙන් කීම ඒ වේලාවේදී දොසක්‌ ඇසුවත් පසුව යහපත් ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවක්‌ බවට පත්වෙයි. නොමේරූ ළදරු ඒකකයේ විෂබීජයක්‌ පැතිර ගියේ නම් එය මාධ්‍යයට හෙළිකිරීමේ වරදක්‌ නැත. මන්ද දොස්‌තර උවමනාවෙන්a විෂබීජ පාර්සලයක්‌ ගෙනවුත් වපුරන්නේ නැත. එය හැමෝම දනිති. එහෙත් දොස්‌තර නිසි ආරක්‍ෂක ඇඳුම් පැළඳුම්වලින් නොසැරසී ළදරු ඒකකය තුළට පැමිණෙන්නේ නම් එය වරදකි. එයද හෙළි කළාට කවුරුවත් දොස්‌තර එල්ලුම්ගස්‌ යවන්නේ නැත. මේ වැරදි හිතාමතා කරන දේ නොවන නිසා ඒ හැම වරදකටම සමාවක්‌ ඇත. එහෙත් වාර්තා සැඟවීම, එක වරදක්‌ වසා ගැනීම සඳහා බොරු දහයක්‌ කීම වැනි කාරණා අද කාලයට ගැලපෙන්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් මාධ්‍යයට දීමෙන් වැළකී සිටි වාර්තාවෙහි කිසිදු වැදගත්කමක්‌ නැති වුවද දැන් ඉතින් පත්තරකාරයන් එය පස්‌සෙන් යෑම වැළැක්විය නොහැක.


Divaina 2012.03.14

No comments:

Post a Comment