Tuesday, March 6, 2012

පරීක්‍ෂණවලින් හෙළි වෙයි කොළඹ ද සොයිසා රෝහලේදී එක්‌ දරු මව මිය ගියේ නියමිත ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට ලබා නොදීමෙන්

අජිත් අලහකෝන්



කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී එක්‌දරු මවක මියගොස්‌ තිබෙන්නේ නියමිත ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට ලබා නොදීම නිසා යෑයි පරීක්‍ෂණවලදී හෙළිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසුවේය. මෙම මවට ලබා දුන් ඖෂධ තත්ත්වයෙන් බාල නිසා ඇගේ මරණය සිදුවූ බවට කරන ප්‍රකාශය පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා විශේෂ පරීක්‍ෂණ කණ්‌ඩායම් දෙකක්‌ පත් කළේය.

එම පරීක්‍ෂණවලට අනුව හෙළිවී ඇත්තේ මෙම මවට නෙරෝටනස්‌ සහ කෝ මොක්‌සික්‌ලේට්‌ යන ඖෂධ ලබා දී ඇති බවයි. එම ඖෂධ තත්ත්වයෙන් බාල බවට වාර්තා වී නැතැයි ද පරීක්‍ෂණ කණ්‌ඩායම විසින් හෙළිදරව් කරගෙන තිබෙන බව ඉහත නිලධාරියා පැවසුවේය.

රෝගියාට අදාළ ඖෂධවලින් මිලිග්‍රෑම් දහසක්‌ ලබාදිය යුතු වුවද වෛද්‍යවරයා විසින් දී ඇත්තේ මිලිග්‍රෑම් 500 ක්‌ බව ද පරීක්‍ෂණ කණ්‌ඩායම විසින් අනාවරණය කරගෙන ඇතැයි කී ඉහත නිලධාරියා එම ප්‍රමාණය මෙම කාන්තාවට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද කීය.

එම නිසා ඇගේ මරණයට හේතු වී ඇත්තේ මෙම කරුණ බව පැවැසූ ඉහත නිලධාරියා මේ සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද කීය.

Divaina 2012.03 06

No comments:

Post a Comment