Monday, March 12, 2012

වර්ජන, උද්ඝෝෂණ පසෙකලා මව්බිම බේරා ගැනීමට සැමගේ සහාය මේ අවස්‌ථාවේදී රජයට ලබාදෙන්න මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාහිමි

ධර්මසේන වැලිපිටිය

දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකාරී බලවේග හමුවේ රටේ අවදානමක්‌ පවතින අවධියක සියලු පක්‍ෂ භේද මතභේද අමතක කොට සෑම වර්ජනයන්, උද්ඝෝෂණයන් පසෙකලා රට බේරා ගැනීම සඳහා සියලු දෙනාම මේ අවස්‌ථාවේ රජයට සහයෝගය ලබාදෙන ලෙස ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බව සමස්‌ත ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

නාහිමියන් එසේ පැවසුවේ සමස්‌ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සම්මේලනයේ 17 වැනි මහා සභා රැස්‌වීම නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථ ශාලාවේදී පැවැති අවස්‌ථාවේදීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආනන්ද නාහිමියෝ, අපේ රටට නොයෙක්‌ ආකාරයේ විදෙස්‌ බලපෑම් හමුවේ දැඩි සේ ලෝකයේ බලවත් රටවල් චෝදනා එල්ල කරනවා. ඒවා ජයගන්න නම් අපි එකිනෙකා අතර දැඩි එකමුතුවක්‌ අවශ්‍යයි. මටද නොයෙක්‌ අයගෙන් බලපෑම් එල්ල වෙනවා, වර්ජන පවත්වන්න, උද්ඝෝෂණ කරන්න කියල. නමුත් මමත් මගේ රටට ආදරය කරන, රටේ ආරක්‍ෂාවට සහයෝගය දෙන භික්‍ෂූන්වහන්සේ නමකි. මෙවැනි අවස්‌ථාවක මම කිසිසේත් එවැනි ක්‍රියාවන් අනුමත කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ඕනෑම කෙනකු තම අයිතිවාසිකම් සුරැකීමේ අයිතිය තියෙනවා. නමුත් රටක අවදානම් අවස්‌ථාවක මූලික වශයෙන්ම රට ගැන සිතිය යුතුයි.

විශ්‍රාමික රජයේ සේවකයාගේ සේවය කිසිම රජයකට අමතක කරන්න බැහැ. සමහර අවස්‌ථාවල විශ්‍රාමිකයාට කුඩම්මාගේ සැළකිලිත් නිතරම වගේ ලැබෙනවා. රටේ සංවර්ධනය උදෙසා දැඩි සේ කැපවූ පිරිසක්‌ තමයි විශ්‍රාමික රජයේ සේවකයා. නමුත් අද පවතින තත්ත්වය ඉතාමත් කණගාටුදායකයි. වර්තමාන සමහර රජයේ සේවකයෝ මහජනතාව දැඩි සේ රස්‌තියාදු කරන අවස්‌ථා ඉතාමත් සුලබ බව ද නාහිමියෝ අවධාරණය කළහ.

එහිදී එම සංගමයේ සභාපති කේ. එස්‌. කරුණාරත්න, ලේකම් ආරියසේන විදානපතිරණ යන මහත්වරු ද කතා කළහ.

Divaina 2012.03.12

No comments:

Post a Comment