Monday, March 12, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ හෙට සිට දිගටම වර්ජනයේ

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් දහයක්‌ මුල්කරගෙන රජයේ රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (13 වැනිදා) සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

රජයේ රෝහල්වල සේවය කරන රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී.) භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 5000 ක්‌ පමණ දෙනා මෙම වැඩවර්ජනයට එක්‌වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ

ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය. බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, ද සොයිසා කාන්තා, කාසල් වීදිය කාන්තා හා මහරගම පිළිකා යන රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් මානුෂීය හේතූන් මත මෙම වැඩවර්ජනයට එක්‌කර නොගන්නා බව ඔහු වැඩිදුරටත් කීය.

සිය සේවා ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගිය මාස කීපය තුළදී බලධාරීන් සමඟ සාකච්ඡා වට හතක්‌ පවත්වා ඇතත්, එම ඉල්ලීම්වලට කිසිදු විසඳුමක්‌ මෙතෙක්‌ නොලැබීම නිසා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කළේය.

Divaina 2012.03.12

No comments:

Post a Comment