Monday, March 12, 2012

මාස දෙකක් තුළ බිලිඳු මරණ 17 ක් සිදුවූ මහමෝදර රෝහ‍ලේ අබිරහස

2012 මාර්තු 10 වෙනි සෙනසුරාදා, 17:42

කමල් විජේහේවා


අලුත් රෝහලක් හැදීමට ලැබුණු කෝටි 300ට සිදුවූයේ කුමක්ද?

ගාල්ල මහමෝදර රෝහ‍ලේ පසුගිය දිනවල ඇති වූ බැක්ටීරියා භීතිකාව රටේ අවධානය දිනාගත් සිදුවීමක් විය. එහි සිදු වූ ආන්දෝලනා-ත්මක ළදරු මරණ සංඛ්‍යාව පසුගිය සති අන්තය වන විට දාහත (17) ඉක්මවන තරමට ඉහළ ගොස් ඇත.

එක දිගට හිටිහැටියේ මෙවන් ළදරු මරණ පෙළක් සිදුවන්නට හේතු වූයේ බිලිඳු සිරුරු තුළට විෂබිජයක් ඇතුළුවීම් බවට රෝහල තුළින්ම සැක පළ කෙරිණ. ඒ පිළිබඳ සොයා විශේෂ පරීක්ෂණයකට කරාපිටිය ශික්ෂණ රෝහලෙහි විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යෙදවුණේ ඉන් අනතුරුවය. බිලිඳු මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ නගිද්දී බැක්ටීරියා භීතිකාව ලැව්ගින්නක් සේ පැතිර යන්නට විය. මහමෝදර රෝහ‍ලේ නතර වී සිටි මව්වරුනට සිදුවූයේ තම බිලිඳුන්ගේ ජීවිත අවදානම පිළිබඳ වූ දෙගිඩියාවෙන් මහ ගිනිකඳකට මැදි වී දෙලොවක් අතර කල්ගත කරන්නටය.
ඒ අතරතුර ගාල්ල මහමෝදර රෝහ‍ලේ සීසේරියන් සැත්කමකින් කුළුඳුල් දරුවා බිහිකළ ගාල්ල බූස්ස රජ්ජිපුර කාලිංග සුජීවා නමැති 23 හැවිරිදි මවක් ද සැත්කමින් අනතුරුව ආබාධයකින් පසුගිය සතියේ අවසන් ගමන් ගියාය. ඇය සැත්කමින් අනතුරුව කැපුම් ආබාධයකින් අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයට ඇතුළු-කොට තත්ත්වය වඩාත් බරපතළ වූ තැන කරාපිටිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු පසුගිය සතියේදී එසේ මරුමුවට පත්වූවාය.

ගාල්ල මහමෝදර රෝහල තුළ වූ මෙම සිදුවීම් දාමයත් සමගම ශ්‍රී ලංකාවේ රෝහල් ක්ෂේත්‍රයේ ජීවිත අවදානම් සහිත රෝගීන්ට නුසුදුසු තත්ත්වයක පවතින අනතුරුදායක රෝහලක් ලෙස රට පුරා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ අතර සෞඛ්‍ය බලධාරීන්ට ඒ ගැන ඇඟිල්ල දිගු කරන්නට තරම් ඔවුහු කරුණු පෙළ ගස්වන්නට වූහ. සෞඛ්‍ය බලධාරීන් කොළඹින් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ගාල්ලට එව්වේ එහෙයිනි.

කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ හදිසි පරීක්ෂණයෙන් අනතුරුව, ළදරුවන් මියයාමට හේතුව ක්ලිප් ඉබෙල්ලා නමැති බැක්ටීරියාව බිලිඳුන්ගේ ශරීරගත වීම යයි හඳුනා ගැනිණි. නිවුන් බිලිඳුන් දෙදෙනාගේ මරණවලට හේතුවද මෙයම බව නිත්‍ය වශයෙන් හඳුනාගැනිණ.

එමෙන්ම සීසේරියන් සැත්කමින් අනතුරුව ඇති වූ ආබාධයකින් මියගිය 23 හැවිරිදි මවගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව අනාවරණය කිරීමට අධිකරණ සහකාර වෛද්‍ය එල්. එම්. දම්මි මහත්මියට හැකියාව නොලැබිණි. මේ හේතුවෙන් හදිසි මරණ පරීක්ෂක ඒ.එච්.එම්. අවුන් හට මරණයට හේතුව තීන්දු කිරීම පසුවට කල් තබන්නට සිදුවිය.

මෙවන් හේතු කාරණා සමග මහමෝදර රෝහ‍ලේ සිටින මව්වරුන්ගේ සහ බිලිඳුන්ගේ ජීවිත පිළිබඳ ඥාතීන්ට දෙවරක් සිතන්නට කරුණු කාරණා යෙදිණි.

මහමෝදර රෝහ‍ලේ ළදරු මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ නැගුණේ පසුගිය ජනවාරි මාසයේ සිටය. පසුගිය පෙබරවාරියේ මහමෝදර නොමේරූ ළදරු ඒකකයට බිලිඳුන් පනස් දෙදෙනකු ඇතුළත් කර තිබූ අතර ඉන් බිලිඳුන් 10 දෙනෙකුම මියගොස් තිබිණ.

මියගිය ළදරුවන් දහ දෙනාගෙන් හය දෙනෙකුම නොමේරූ, අඩුබර සහිත දරුවන් වූ අතර ඉන් තිදෙනෙ-කුම මියගොස් ඇත්තේ සංජා-නීය කරුණු, හෘද පෙණහැලි සහ මොළයේ දුර්වලතා හේතුවෙන් බව හෙළි කරගෙන තිබේ. බිලිඳුන් සිවුදෙනෙකු මරුමුවට පත්ව ඇත්තේ ක්ලිප් ඉබෙල්ලා බැක්ටීරියාව ශරීරගත වීමෙන් බව එහිදී කොළඹින් පැමිණි විශේෂඥ වෛද්‍ය කණ්ඩායම හා කරාපිටිය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම හඳුනාගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ පවතින එකම නොමේරූ ළදරු ඒකකය වන්නේද මහමෝදර රෝහ‍ලේ පිහිටි නොමේරූ ළදරු ඒකකයයි. බිලිඳුන් 20 දෙනෙකු එකවර ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි ලෙස එය ඉදිකර තිබේ.
ළදරු මරණ සංඛ්‍යාව එක පෙළට ඉහළ යාමත් සමගම තරමක් සුව අතට හැරෙමින් සිටි බිලිඳුන් වෙනත් රෝහල් වලට මාරුකර යවා තිබේ. මේ වන විටද බිලිඳුන් 13 දෙනෙක් එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මහමෝදර රෝහල තුළ නිසි ප්‍රමිතියක් සහ පහසුකම් නොමැතිවීම නිසා මෙවන් විපත් සිදුවී ළදරු ජීවිත සහ මව්වරුන් ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවට ළදරුවන්ගේ මව්වරු සහ ඥාතීහු එකහෙළාම ප්‍රකාශ කරති. මේ බිහිසුණු තත්ත්වය නිසා ඔවුන් මහත් අසරණ තත්ත්වයට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ළදරුවන්ට මරු කැඳවූ බැක්ටීරියාව මවකගෙන්ම මහ මෝදර රෝහලට පැමිණ ඇති බව පැවසේ. එම බැක්ටීරියාව මව් කුස තුළ කලලය වටා ඇති පටකය පුපුරායාමෙන් පැය 24 කට පසු රෝහලට ඇතුළත් කළ මවකගෙන් එන්නත් කුප්පියක් ඔස්සේ තවත් ළදරුවන් කිහිපදෙනෙකුට ශරීරගත වී ඇති බවත් වෛද්‍ය පර්යේෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.

මේ වන විට ක්ලිප් ඉබෙල්ලා බැක්ටීරියාව මුළුමනින් විනාශ කිරීමට පියවර යොදා ඇති බවට රෝහල් බලධාරීහු විශ්වාසය පළ කරති.

මහමෝදර රෝහල නිසි පරිදි සංවර්ධනය නොකිරීමේ හේතුවෙන් මෙවන් ජීවිත හානි සිදුවන බවට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංගම්, ඇතැම් වෛද්‍යවරුන් මෙන්ම මහජන නියෝජිතයන් සහ විවිධ තරාතිරමේ අය මේ වන විට සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරමින් සිටියි.

ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පදිංචිකරු වකුද ගාල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ද වන කපිල ක්‍රිෂාන්ත කොහොඹන්ගේ මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වීය.

සුනාමියෙන් පස්සේ මේ රෝහල කරාපිටියට ගෙනි-යන්න උත්සාහ ගත්තා. ඒකට මහමෝදර ප්‍රමුඛ ගාල්ල සහ අවට ජනතාව විරෝධය පා මේ රෝහල ක්‍රියාත්මක කරන්න සුදුසුම තැන සහ ඉඩකඩ පහසුකම් සහිත භූමිය මහමෝදරම බව ප්‍රකාශ කර රෝහල රැක ගත්තා.

නමුත් සුනාමියෙන් විනාශ වීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් රෝහල ඊට සුදුසු පරිදි ගොඩනැගීමත් අවශ්‍ය පහසුකම් අංග සම්පූර්ණ ලෙස ඇති කිරීමත් පිළිබඳ සොයා බැලුවෙ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් මේ අවාසනාවන්ත තත්ත්වය මතුවෙලා තියෙන්නේ. මේකට සෞඛ්‍ය බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.
මෙම බිලිඳු මරණ පෙළත් සමගම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත්තේ ජර්මනියේ සුබසාධක පදනමක් විසින්, සුනාමියෙන් විනාශ වූ මහමෝදර රෝහල වෙනුවෙන් කරාපිටිය ප්‍රදේශයේ නව රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000 ක් ලබාදීම පිළිබඳවය.

ඒ සම්බන්ධයෙන් පුවත්පතට අදහස් දැක්වූ ගාල්ල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ගැමුණු ප්‍රේමලාල් පැවසුවේ මෙසේය.

පදනම විසින් ලබාදුන් රුපියල් කෝටි 300 න් එම රෝහල තාම ඉදිකර නැහැ. එවකට අගමැති රත්නසිරි වික්‍රමනායක මහත්තය ඇවිත් කරාපිටියේ එම රෝහලට මුල්ගල තැබුවා. අද වෙනතුරුත් ඒ ඉදිකිරීම් පිළිබඳ ක්‍රියාත්මක වී නැහැ. රෝහල ඉදිකිරීමේ අත්තිවාරම පවා කැලයෙන් වැසී ගිහින්. කෝටි 300ටත් ඉදිකිරීම්වලටත් වූ දෙයක් නැහැ.

මියගිය බිලිඳුන්ට, මව්වරුන්ට සාධාරණය ඉටුකර , බිලිඳු ජීවිත හා මව්වරුන්ගේ ජීවිත රැකගැනීමට මහමෝදර රෝහල ඉක්මනින් පිහිටි තැන හෝ සුදුසු තැනක සියලු පහසුකම්වලින් යුතුව නිර්මාණය කළ යුතු බව මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට අපි අවධාරණයෙන් කියා සිටිය යුතුමය.

lakbima.lk

No comments:

Post a Comment