Monday, March 5, 2012

කැපී වෙන්වුණ දුවගේ ඇඟිල්ල බද්ධ කරන්න බැරිවුණේ මස්‌කෙළිය රෝහලේ වරදින් -පියා චෝදනා කරයි

දැරියගේ පියා කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා
මස්‌කෙළිය දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය



මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක


දර කැපීමට ගොස්‌ 14 වියෑති තම දියණියගේ වෙන්ව ගිය වමතේ මාපටඇඟිල්ල යළි බද්ධ කිරීමට නොහැකි වූයේ මස්‌කෙළිය දිසා රෝහලේ සිට නාවලපිටිය මූලික රෝහල වෙත තුවාලකාරිය හා වෙන්ව ගිය ඇඟිල්ල යෑවීමට ප්‍රමාද වූ නිසා යෑයි සිද්ධියට මුහුණ දුන් දැරියගේ පියා චෝදනා කර සිටී.

ඉකුත් 02 වැනිදා මස්‌කෙළිය, බ්‍රන්ස්‌වික්‌ තේ වත්තේ බ්ලූම්ෆSල්ඩ් කොටසේ පදිංචි 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ක්‍රිෂ්ණමූර්ති ගයාත්‍රි නමැති දැරිය ඉවුම් පිහුම් කටයුතු සඳහා එදින උදැසන 7.00 ට පමණ නිවසේදී දර කපමින් සිටියදී තේ කවාතු පිහියට ඇගේ වම් අතේ මාපටඇඟිල්ල මුලින්ම කැපී වෙන්ව ගොස්‌ ඇත. දැරියගේ මව මැදපෙරදිග රටක රැකියාවකට ගොස්‌ වසර එකහමාරක්‌ වන නිසා දිනපතා ඉවුම් පිහුම් කටයුතු මෙම දැරිය විසින් සිදු කර තිබේ. කැපී වෙන් වූ ඇඟිල්ල සමග දැරිය ප්‍රථමයෙන් වත්තේ රෝහල වෙත ගෙන යැමෙන් අනතුරුව මස්‌කෙළිය දිසා රෝහල වෙත යන ලෙස එහිදී උපදෙස්‌ දුන් බව දැරියගේ පියා වන සුබ්‍රමණියම් ක්‍රිෂ්ණමූර්ති පවසයි.

වතු රෝහලෙන් දුන් උපදෙස්‌ අනුව තුවාලකරු හා ඇඟිල්ල මස්‌කෙළිය දිසා රෝහල වෙත එදින උදෑසනම රැගෙන ගිය බවත්, එදින පෙ.ව. 9.00 ට තුවාලකරු හා ඇඟිල්ල නාවලපිටිය මූලික රෝහල වෙත ගිලන් රථයෙන් යවන බවත් ඇඟිල්ල අයිස්‌ කැට මත බහා ගෙනවිත් භාර දෙන ලෙස මස්‌කෙළිය රෝහලෙන් දැන්වූ නිසා එලෙස කළ බවත් කියා සිටී.

දැරියගේ පියාට බස්‌ රථයෙන් නාවලපිටිය මූලික රෝහලට යන ලෙස දැන්වූ නිසා එදින ප.ව. 1.00 ට නාවලපිටිය රෝහල වෙත ගිය බවත් ඒ වන විටත් දැරිය රැගෙන විත් නොසිටි නිසා ඒ පිළිබඳව නාවලපිටිය රෝහලේ බාහිර රෝගී අංශය මගින් මස්‌කෙළිය රෝහල වෙත දුරකථන ඇමතුමක්‌ දී විමසූ බවත් පවසන මෙම දැරියගේ පියා ප.ව. 3.00 ට පමණ දැරිය රැගෙන නාවලපිටිය රෝහල වෙත මස්‌කෙළිය රෝහලේ ගිලන් රිය පැමිණි බවත් කීවේය. වෙන්ව ගිය ඇඟිල්ල හා තුවාලකරු ප්‍රමාද වී රැගෙන ඒම නිසා ඇඟිල්ල බද්ධ කළ නොහැකි බව නාවලපිටිය රෝහලේ වෛද්‍යවරුන් එහිදී තමාට පැවැසූ බවත් දැරියගේ පියා වැඩිදුරටත් කියා සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් උරණ වූ දැරියගේ පියා හා මාමා මස්‌කෙළිය දිසා රෝහල වෙත පෙරේදා (03 දා) ගොස්‌ මස්‌කෙළිය දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි අයේෂා වෙත්තසිංහ මහත්මියගෙන් කරුණු විමසීමක්‌ කර ඇත. අප මේ පිළිබඳව මස්‌කෙළිය දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි අයේෂා වෙත්තසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය කියා සිටියේය. ඉකුත් 02 වැනි දින උදැසන 7.00 ට පමණ කැපී වෙන්ව ගිය බව පවසන මෙම දැරියගේ මාපටඇඟිල්ල හා දැරිය මස්‌කෙළිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ එදින පෙ.ව. 8.10 ට පමණ බවයි. මෙලෙස කැපී වෙන්ව ගිය ඇඟිල්ල සිද්ධිය වී විනාඩි 5-10 ත් අතර කාලයක්‌ තුළ අයිස්‌ කැට මත ගිල්වීම කළ යුතු බවත් ඒ අනුව එහි ජීව තත්ත්වය ර¹ පවතින බවත් තම රෝහල වෙත දැරිය ඇතුළත් කරන විට පැයකටත් වැඩි කාලයක්‌ ගතවී ගොස්‌ තිබුණ බවත් ඇය කීවාය. ඇඟිල්ල අයිස්‌ කැට මත බහාලීම සිදු කළේ ඉන් අනතුරුව බවත් ඇය කීවාය.


කැපී වෙන්ව ගිය ඇඟිල්ලක බද්ධ කිරීමේ ශල්‍යකර්මය ඉතා සියුම්ව සිදු කළ යුතු බවත් තමා දන්නා තරමින් එය නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල කළ නොහැකි බවත් එය කොළඹ මහ රෝහලේදී කළ යුතු ශල්‍යකර්මයක්‌ බවත් පවසන අයේෂා වෙත්තසිංහ ප්‍රධාන වෛද්‍යවරිය, මෙය වැස්‌ක්‍යqලර් හෝ ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ මගින් කළ යුතු බවත් කීවාය.

ගිලන් රථය ප්‍රමාද වී නාවලපිටිය මූලික රෝහල වෙත යැමට හේතුව ලෙස ඇය ප්‍රකාශ කර සිටියේ මස්‌කෙළිය දිසා රෝහලට එක්‌ ගිලන් රථයක්‌ පමණක්‌ ඇති බවයි. එක්‌ රෝගියෙක්‌ වෙනුවෙන් ගිලන් රථයක්‌ සූදානම් කිරීමේදී රෝහලේ නේවාසිකව සිටින අනිකුත් අසාධ්‍ය රෝගීන්ගේද තත්ත්වය ගැන සොයා බලා කටයුතු කළ යුතු බවත් මෙම දැරිය සමග දින 22 ක්‌ වයසැති ස්‌වසන ආබාධයෙන් පෙළුන අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දැරියක්‌ ද තවත් අසාධ්‍ය රෝගීන් තිදෙනකු ද එම ගිලන් රථයේ නාවලපිටිය මූලික රෝහල වෙත යෑවූ බවත් කියා සිටියාය. මස්‌කෙළිය දිසා රෝහලේ සිදු වූයේ යෑයි කියන ප්‍රමාදයක්‌ නිසා සැත්කම සිදු කිරීමට නොහැකි වූ බවට දැරියගේ පියා කරන චෝදනාව තමා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවද ඇය වැඩිදුරටත් කීවාය.

ක්‍රිෂ්ණමූර්ති ගයාත්‍රි නමැති මෙම දැරිය දැනට නාවලපිටිය මූලික රෝහලේ 09 වැනි වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

Divaina 2012.03.05

No comments:

Post a Comment