Friday, March 9, 2012

රඹුක්වෙල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දුන් උපත් පාලන එන්නත විස වී එක්දරු මව මරුට

ඉන්දික පොල්කොටුව

බොක්කාවල රඹුක්වෙල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (8) දහවල් උපත් පාලන එන්නතක් ලබාදුන් විසි අටහැවිරිදි එක්දරු මවක එම එන්නත විසවීමෙන් ඉන් විනාඩි කිහිපයක් තුළ මරුමුවට පත්ව ඇත.

රඹුකේවෙල ප්‍රදේශයේ ඉනෝකා රූපසිංහ (28) නමැති එක්දරු මවක මෙලෙස මියගොස් තිබේ. මාස එකහමාරක් වයසැති දරුවකු සිටින මේ මව උපත්පාලන එන්නත එන්නත් කර ගැනීම සඳහා ඊයේ රඹුකේවෙල වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර එහිදී එන්නත එන්නත් කර විනාඩි කිහිපයකින් ඇය මරුමුවට පත්ව ඇත. ඕනෑම එන්නතක් ලබාදෙන ලක්‍ෂ ගණනින් එක් අයකුට මෙවැනි විෂවීමක් සිදුවිය හැකි බවත් එය උපත් පාලන එන්නත් සඳහා පමණක් නොවන්නක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවැසුවාය. මෙවැනි විෂවීම් තත්ත්වයක් අවසන් අවස්ථාව වන ඇනෆිලැක්ටික් ෂොක් නමැති තත්ත්වයට පත්ව මේ මරණය සිදුව ඇතැයි ඇය පැවැසුවාය. හුස්ම ගැනීම මාර්ග මින් ඉදිමීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත මරණයන් සිදුව හැකි බැව් වෛද්‍යවරු පවසති.

උපත් පාලන එන්නත් ලබා ගැනීම සඳහා මව්වරුන් 12 දෙනකු මේ සායනයට සහභාගි වී ඇති අතර ඉන් දොලොස්වෙනියා ලෙස මේ මවට අදාළ එන්නත ලබාදී තිබේ. මේ එන්නත් ලබාගත් අනෙක් සියලු මවුවරුන්ට කිසිදු රෝගී තත්ත්වයක් ඇතිවී නොමැත.

එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වනු ලබන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය කීය.

Dinamina 2012.03.09.

No comments:

Post a Comment