නූතන වෛද්‍ය විද්‍යාවේ පියා හැටියට සැලකෙන ග්‍රීක ජාතික වෛද්‍ය හිපොක්‍රටීස්‌ගේ (ක්‍රි. පූ. 5 වන සියවසේ දෙවන කොටස) දිව්රුමට අනුව ගබ්සාව යනු වෛද්‍යවරයකු විසින් නොකළ යුතු තහනම් දෙයකි. "හිපොක්‍රටීස් දිව්රුම" කිසිවකු ඉදිරිපිට දෙනු නොලැබේ. එහෙත් වෛද්‍ය විද්‍යාවේ චර්යා ධර්ම සම්බන්ධයෙන් හිපොක්‍රටීස් නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිපැදීම වෛද්‍යවරුන් වෙතින් අපේක්‍ෂා කෙරේ.
බුද්ධ ධර්මයට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි. ගබ්සාව ප්‍රාණඝාතයක් වන නිසා එය බුදු දහමට විරුද්ධ ය.
රෝමානු කතෝලික පල්ලිය ගබ්සාවට ඉතා විරුද්ධය. එසේම ශුද්ධ වූ කුරානය මගින් ගබ්සාව තහනම් කෙරෙයි. ඉස්‌ලාමය ඉතා භයානක නපුරු ආගමක් ලෙස ප්‍රචාරය කිරීමේ වුවමනාව බටහිරයන් තුළ තිබේ. එය එසේ නොවන ප්‍රගතිශීලී ආගමක් බව ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනය කියවන කෙනකුට පෙනෙයි.
ශ්‍රී ලංකාව සිය ගබ්සා නීතිය සංශෝධනය කරන්නට සූදානම් වන මේ මොහොතේදී ඉහත සඳහන් කරුණු ස්‌වල්පය අප සඳහන් කළේ පාඨකයා තුළ පසුබිම් දැනුමක් ඇති කරනු පිණිස ය. ගබ්සා නීතිය සංශෝධනය වන්නේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හරහා ය. ස්‌ත්‍රී දූෂණය, පියා හෝ සහෝදරයකු හෝ ලේ නෑයකු අතින් වන දූෂණය, ජාන විකෘති සහිත දරු කළල යනාදිය ගබ්සා කිරීමට නව සංශෝධනය මගින් අවස්‌ථාව ලැබේ. මෙය තවමත් නීතියක් බවට පත්කර නැති බව අප සඳහන් කරන්නේ කාන්තා හා ළමා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියෑද්දගේ හිස සුචරිතවාදීන් විසින් කඩාගෙන කනු ලැබීම වළක්‌වනු පිණිස ය. ඉදිරියේදී මේ ගැන ජනමතය විමැසීමක් සිදු කෙරෙන අතර කෙරෙන හැම දෙයක්‌ම කෙරෙන්නේ ඉන් පසුව ය.
මෙහිදී ගබ්සාවේ ඉතිහාසය ගැන පාඨකයා දැනුවත් කිරීම අපගේ යුතුකමකි. ගබ්සාව මුලින්ම සිදුකළැයි වාර්තා වන්නේ චීනයෙනි. ඒ ක්‍රි.පූ. 2700 දී ය. ඊජිප්තු වෛද්‍යවරුන් 1550 දී ගබ්සා සිදුකළ බවට සාක්‍ෂි ඇත. ක්‍රිස්‌තු වර්ෂයෙන් පසු කාම්බෝජයේ අංකෝර් වම් ගල් කැටයම්වල ගබ්සාවක් සිදුකරන කැටයමක් ඇත. 1900 න් පසු, වින්නඹු අම්මලා ගබ්සාවක් කර අසුවුණොත් ඔවුන් බෙල්ලෙන් අල්ලා හිරගෙට දමන බව කියෑවෙන පෝස්‌ටර් සාර් රජවරු මුද්‍රණය කළ හ.
ගර්භාෂය තුළ ඇති දරු කළලයට අසුවල් සති ගණන සම්පූර්ණ කළ පසු ගබ්සාවක් සිදුකළ නොහැක යනුවෙන් නීති ලෝකයේ රටවල් ගණනාවකම පනවා තිබේ. කවුරු කවර නීති පැනවුවත් සාමාන්‍යයෙන් වසරකට ලොව පුරා රටවල ගබ්සා හාරකෝටි පනස් ලක්‍ෂයක් සිදු කරන බව දැනගන්නට තිබේ. ඒ වූකලී හිතාමතා කරන ගබ්සාය. ඊටත් අමතරව ලෝකයේ වාර්ෂික පිළිසිඳ ගැනීම්වලින් 25% ක් ඉබේටම ගබ්සා වෙයි. මේ රටේ ද එක්‌දහස් නවසිය අටසිය ගණන්වල සිට ගබ්සා සිදුකළ බව දැනගන්නට තිබේ. ඒවා කළේ ගස් වෙදුන් ලෙස හැඳින්වෙන ස්‌වදේශික වෛද්‍යවරුන් හා වින්නඹු අම්මලා විසින් කිසිදු පොතක සඳහන් නොවන "ගැමි ඥනය" ඔස්‌සේ සොයාගත් පලතුරු වර්ග, කිසියම් ගසක කිරි සහ කිසියම් ප්‍රාථමික මත්ද්‍රව්‍ය ආශ්‍රයෙනි. (මේ ද්‍රව්‍යවල නම් සඳහන් නො කරමු.) ඉතාම භයානක කාරණය වූයේ ගබ්සා 10 ක් කළ විට ඉන් පස්‌දෙනකු මියගොස් තවත් දෙතුන් දෙනකුට හත් අට මාසයකට ඇඳෙන් බැසීමට බැරි වීම ය. මෙය අදටත් මෙසේමය. රුපියල් 15000 ක් ගෙවතොත් හෙට උපදින්නට සිටින එකා වුව ගබ්සා කරන්නට සූදානම් කාලකණ්‌නි හොර දොස්‌තරලා මේ රටේ සිටිති. ඉස්‌සරහින් වෛද්‍ය මධ්‍යස්‌ථානයද, පිටිපස්‌සෙන් ගබ්සා මධ්‍යස්‌ථාන ද පවත්වාගෙන යන අවස්‌ථා බහුල ය. සමහර වෛද්‍ය මධ්‍යස්‌ථාන තුළ ගබ්සාව කරන්නේ දොස්‌තර නොව අත්උදව්වට සිටින බාස්‌ය. ඒ බාස් ගබ්සා හැරුණු කොට බොහෝ විට දන්නේ මළමිනී එම්බාම් කිරීමට ය.
ස්‌ත්‍රී දූෂණයකින් පසු උපදින දරුවා අවජාතක දරුවකු බැවින් එම දරුගැබ මුලදීම ඉවත් කිරීම මවගේ පැත්තෙන් සාධාරණ ය. පියා විසින් හෝ සොයුරා අතින් කෙළෙසන ලද දැරියගේ කළල ගැබ වහා ඉවත් කිරීම සාධාරණ ය. ජාන විකෘතියක් නිසා අතපය, ඇස් කන් නැතිව උපදින්නට යන දරු කළලය කල් තබාම හඳුනාගෙන ඉවත් කිරීමට කාටවත් විරුද්ධ විය නොහැක. එහෙත් අප පරෙස්‌සම් විය යුත්තේ සෞඛ්‍යසම්පන්න ලෙස මෙළොවට ඉපදීමට සිටින සහජාත දරුවන් ද මේ කරුණු ඇපයට තබා ගබ්සා කිරීමට ඇති ඉඩකඩ ගැන ය. බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරියක වූ මාරි ස්‌ටොප්ස් (1880-1988) දෙවන ලෝක යුද්ධයේදී දූෂණය වූ ලක්‍ෂ සංඛ්‍යාත කාන්තාවන්ට ගබ්සා අයිතිය ලබාදීම සඳහා "මාරි ස්‌ටොප්ස්" චිකිත්සාගාර පිහිටුවූවා ය. අද ලොව පුරා රටවල් 40 ක ඇති මේ චිකිත්සාගාරවලින් වැඩි හරියක තම සීමාව ඉක්‌මවා මිනීමරුවන්ගේ තත්ත්වයට පත්ව ඇත.
Divaina 2012.03.05
No comments:
Post a Comment