Monday, March 5, 2012

මුල්ලේරියාව රෝහල් සේවකට පහර දුන් අයියා - මලෝ ඇල්ලුවා -

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රියන්ත මද්දුමආරච්චි - මුල්ලේරියාව


මුල්ලේරියාව මූලික රෝහලේ ගිලන් රථයක සේවයේ නියුතුව සිටි රෝහල් සේවකයන් දෙදෙනකුට පහර දෙන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ අයිය මලෝ දෙදෙනකු ඊයේ (04 වැනිදා) උදේ අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

එම පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙසීයකට ආසන්න පිරිසක්‌ ඊයේ (4 වැනිදා) උදේ 6.30 සිට රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටි අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වැඩ වර්ජනය අවසන් කර ඇත. මෙම සේවකයන් රෝහලේ වැඩ කටයුතුවලින් ඉවත්ව සිටීම නිසා රෝහලට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවකට මුහුණ පෑහ.

පෙරේදා (03 වැනිදා) රාත්‍රි හදිසි අනතුරකට ලක්‌ වූ කාන්තාවක මුල්ලේරියාව මූලික රෝහලට රැගෙනවිත් තිබේ. එහිදී එම කාන්තාවගේ සහෝදරයන් ඇතුළු ඥතීහු පිරිසක්‌ රෝහල් සේවකයන් සමඟ බහින් බස්‌වීමක්‌ ඇතිවී ඇත. පසුව එම රෝගී කාන්තාව කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති අතර අනතුරුව එම කාන්තාව මුල්ලේරියාව මූලික රෝහලට අයත් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය අවස්‌ථාවේ එම කාන්තාවගේ සොහොයුරන් දෙදෙනකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවිණැයි පොලිසිය කියයි. පහරකෑමට ලක්‌වී ඇත්තේ රෝහල් සේවකයන් වන තාරක ලක්‌මාල් හා ඩී. ආර්. දහනායක යන දෙදෙනා බවත් ඒ දෙදෙනාගෙන් තාරක ලක්‌මාල් යන අයගේ අතක ඇඟිල්ලක අස්‌ථියක්‌ බිඳීයැම නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කැලණිනදීගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

Divaina 2012.03.05

No comments:

Post a Comment