Tuesday, March 6, 2012

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂ උසාවි කැඳවයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත


කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිසේරියන් සැත්කමකින් පසු එක්‌දරු මවක මියයැම සම්බන්ධයෙන් වැඩිදුර සාක්‌ෂි දීම සඳහා ලබන 14 වැනිදා උසාවිය හමුවේ පෙනී සිටින ලෙසට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂවරයාට කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා ඊයේ (5 වැනිදා) සිතාසි නිකුත් කළේය.

මෙම මව මියගියේ සීසර් ශල්‍යකර්මයෙන් නොවන බවත්, ඈ මියගියේ ඇයට රෝහලෙන් ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ තත්ත්වයෙන් බාල නිසා බවත් ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්‌. ඒ. රුවන් පතිරණ මහතා මීට පෙර ලබාදුන් සාක්‌ෂි සැලකිල්ලට ගනිමින් මෙම සිතාසිය නිකුත් කරනු ලැබීය.

මෙලෙස මියගොස්‌ තිබුණේ නිට්‌ටඹුව, හොරගොල්ලවත්ත පදිංචිව සිටි ගබ්බලගේ මධුෂානි නිසංසලා (27) නමැති එක්‌දරු මවකි. ඇය මියගියේ 2011 අගෝස්‌තු මස 11 වැනිදාය.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා හමුවේ පැවැති සාක්‌ෂි විභාගයේදී සාක්‌ෂි දුන් මියගිය අයගේ සැමියා වන කළුවාගේ ගාමිණී වසන්ත අබේධීර (34) මහතා මෙසේ පැවැසීය.

"මියගිය බිරිඳ සමග මා විවාහ වී අවුරුදු අටක්‌ වෙනවා. මගේ බිරිඳට දරුවා ලැබීමට 2011.7.20 වැනිදාට දින ලබාදී තිබුණා. දරුවා ලැබීමට ප්‍රමාද වීම නිසා ඇයට සිසේරියන් සැත්කමක්‌ කළා. ඒ සැත්කමින් පසුව ඇයට උණ ගත්තා. දෙවැනි සැත්කමක්‌ කරලා ඇයව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා.

බිරිඳගේ බඩ ඉදිමී ඇයට ලේ බඩ යන්නට වුණා. පසුව පෞද්ගලික රෝහලකදී වෛද්‍ය රුවන් පතිරණ මහතා හමුවුණා. ඒ අවස්‌ථාවේ බිරිඳ ද සොයිසා කාන්තා රෝහලේ සිටියා. බිරිඳව සැත්කමක්‌ කරලා ගර්භාෂයේ සැරව ඉවත් කළා. බිරිඳගේ ශරීරය ඉදිමිලා තිබ්බ වෙලාවෙයි වෛද්‍යවරයා සැත්කම කළේ. බිරිඳව බේරාදෙන්න කියලා මා වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියා."

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සී. කේ. රාජගුරු මහතා පැවැත්වීය.

බහුවිධ ග්‍රන්ථි අක්‍රියවීම, උදරය සහ තුනටිය ප්‍රදේශය පැසවීම මරණයට හේතුව බව වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.

නිට්‌ටඹුව පොලිසියේ කාන්තා පොලිස්‌ සැරයන් දීපිකා (4657) සහ මරදාන පොලිසියේ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) මෙහිදී සාක්‌ෂි මෙහෙයවීය.

Divaina 2012.03 06

1 comment:

  1. "බිරිඳගේ බඩ ඉදිමී ලේ බඩ යන්නට වුණා. එලෙස දොළොස්‌ පාරක්‌ විතර ගියා. පසුව පෞද්ගලික රෝහලකදී රුපියල් 1,085 ක්‌ ගෙවා වෛද්‍ය රුවන් පතිරණ මහතා මා හමුවුණා. ඒ අවස්‌ථාවේ බිරිඳ සොයිසා කාන්තා රෝහලේ සිටියා"..... This is what today's Divaina says. What is happening in our public hospitals? Some so called specialist in Sri Lankan hospitals are so arrogant that they seldom explain to patients and their loved ones about the treatments or the condition of the patients under their care.This poor husband had to pay money to see the VOG in order to talk to him about the illness and condition of his wife who was warded at a public hospital.This is a terrible state of affairs and need to be rectified without further delay. This is not an preisolated incident and this kind of private consultations are routinely done by poor people just to speak few words to the consultants in order to get some attention to patients under their care at government hospitals.

    ReplyDelete