Sunday, March 11, 2012

රාජ්‍ය ආයතනවලදී කතුන්ට සිදුවන හිංසන නවතාලිය යුතුය

2012 මාර්තු 10 වෙනි සෙනසුරාදා,

තමා ඇමැතිවරයකු ලෙස රාජකාරී කළ අමාත්‍යංශ අතරින් කාන්තාවන්ට වැඩිපුරම ලිංගික අතවර සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනවලදී යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ඊයේ (9) ලක්බිම පුවත්පත මුල්පිටුවේ වාර්තා කර තිබුණි. ඇමැතිවරයකු ලෙස තමා අමාත්‍යංශ නවයක සේවය කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශ තරම් කාන්තාවන්ට හිරිහැර සිදුවන අමාත්‍යංශයක් තවත් නොමැති බවද ඔහු කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කළ මාස 22ක තරම් කාලයකදී මේ තරම් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිම තමා විමතියට පත් වූ කාරණයක් බවද ඇමැතිවරයා පවසා ඇත.

සමහර ආයතනවල ප්‍රධාන තනතුරු හොබවන කාන්තාවන් පවා එවැනි පැමිණිල්ලක් ලැබුණු විට ඒක ගණන් ගන්න දෙයක්ද? පැමිණිලි කරන්න දෙයක්ද? ඕක ප්‍රශ්නයක්ද? ආදී වශයෙන් විමසන බව දැන ගැනීමෙන් තමා පුදුමයට පත් වූ බවද ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ රෝහල් මෙන්ම විවිධ ආයතන රැසක් ඇති අතර ඒවායේ සේවය කරන කාන්තාවන් සංඛ්‍යාවද සුළුපටු නොවේ. එසේම බොහෝ නිලධාරිනියන්ට සහ සේවිකාවන්ට ඔවුන්ගේ රාජකාරී ස්වරූපය අනුව රාත්‍රී කාලයේද සේවය කරන්නට සිදුවේ. එවැනි පරිසරයක් තුළ කතුන්ට ලිංගික අතවරවලට ලක්වීමට ඇති ඉඩකඩ බොහෝ විය හැකිය. ඒ නිසාම ඔවුන්ට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇතුවා වෙන්නට පුළුවන.

එසේ වුවද මේ නිසාම මෙලෙස සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කාන්තා අතවර සංඛ්‍යාව ඉහළ නගින්නේ යැයි පවසා නිහඬව සිටීමට හැකියාවක් නොමැත. පසුගිය සමයේ සේවිකාවන්ට පමණක් නොව රෝගී කාන්තාවන්ට පවා රජයේ රෝහල්වලදී අතවර විඳින්නට සිදු වූ අවස්ථාද වාර්තා විය. රෝහලකට රෝගියකු ඇතුළත් වන්නේ රෝගය සුවකරගෙන නිරුපද්‍රිතව රෝහලෙන් පිටව යාමට මිස ලිංගික අතවර විඳින්නට නොවේ. මෙලෙස රෝගී කතකට කරදර විඳින්නට සිදුවූවානම් රාත්‍රී කාලයේ අනාරක්ෂිතව රෝහල තුළ සේවය කරන කතුන්ට මුහුණ දෙන්නට වන තත්ත්වය පිළිබඳ කියනුම කවරේද?

මෙයට කලකට පෙර මීගමුව රෝහල් සුළු සේවිකාවකට එහි වෛද්‍යවරයකුගෙන් ලිංගික අතවර විඳින්නට සිදු වී අවසානයේදී ඇය මරුමුවට පත් වූ පුවතක්ද වාර්තා විය. දොස්තරවරයකුගෙන් එවැනි තුච්ඡ ක්‍රියාවක් සිදුවූවානම් සෙසු සේවකයන්ගෙන් එවැනි දේ සිදු නොවේ යැයි සිතිය නොහැකිය.

අනික් අතට මෙම තත්ත්වය සෞඛ්‍ය ඇමැතිවරයාට පමණක් තනිව විසඳන්නට හැකි දෙයක් නොවේ. ඇමැතිවරයාට කියන පරිදි පරිපාලනයද ඇතැම් අවස්ථාවල මෙම තත්ත්වය සැලකිල්ලට නොගැනීම නිසා තවදුරටත් ඉහළ නැග ඇති බව පෙනේ. විශේෂයෙන් ඉහළ නිලවල සේවය කරන කාන්තාවන් තමා වැනි සෙසු සේවිකාවකට සිදුවන අතවරයකදී ඒවා ගණන් ගතයුතු නොවේයැයි පවසන්නේ නම් ඔවුන්ට වෙනත් හවුහරණයක් කොහෙන්ද?

අපට තේරුම් යන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ ආයතනවල සිදුවන මෙවැනි කාන්තා හිංසාවලින් වාර්තාවන්නේ සුළු කොටසක් විය හැකිය. සමහර සේවිකාවන් තමන්ට ඉහළ නිලවලින් සිදුවන මෙවැනි අමනකම් තම රැකියාව පිළිබඳ ඇති බිය නිසා හෝ වෙනත් කරුණු නිසා උසස් නිලධාරීන්ට පැමිණිලි නොකරනවා වන්නට පුළුවන. මේ නිසා ඉන් වැඩි කොටසක් යටපත් වී යනවා ඇත.

පැමිණිලි නොකිරීම සහ පැමිණිලි කළ විට නිසි පරිදි විමර්ශන සිදුනොවන විට තව තවත් මෙවැනි ක්‍රියාවලට යොමු වන්නන් වැඩිවිය හැකිය. එසේම විමර්ශන සිදුනොවේ නම් පැමිණිලි කිරීමෙන් වැඩක් නැතැයි සිතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා වන්නටද පුළුවන.

මේ කාන්තා දිනයේ බොහෝ දෙනා කාන්තා නිදහස පිළිබඳ නොයෙක් සාකච්ඡා සම්මන්ත්‍රණවලට සහභාගි වන්නට ඇත. ඒවායේදී කාන්තා හිංසනය පිටු දැකීම පිළිබඳවද කතා කරන්නට ඇතුවාටද සැකයක් නැත. එහෙත් රාජ්‍ය ආයතන තුළදීම කාන්තා දූෂණ සිදුවේනම් අවශේෂ අවස්ථාවල මොනවා වේදැයි බලාගන්නට බැරිකමක් නැත. අනෙක් අතට සෞඛ්‍ය අමාත්‍යංශයේ පමණක් නොව මේ රටේ විවිධ රාජ්‍ය ආයතන තුළද මෙවැනි අවිනීත ක්‍රියා සිදුවෙයි. සමහර කාන්තාවන්ට උසස්වීම් ලබා ගැනීමේදී ඉහළ නිලධාරීන් හමුවේ හිංසනයට ලක්වීමට සිදු වූ අවස්ථා පිළිබඳවද විවිධ තොරතුරු අනාවරණය වූයේ අද ඊයේ නොවේ.

මුලින් පැවැසුවා මෙන්ම රාජ්‍ය ආයතන තුළ මෙවැනි පහත් සිද්ධි ඇති නොවීමට වග බලා ගැනීමට අදාළ ඇමැතිවරුන්ට පමණක් නුපුළුවන. ඒ සඳහා එම ආයතනවල නිලධාරීන්ගේ නිලධාරිනියන්ගේ සහය ලැබිය යුතු බව පෙන්වා දෙමු.

lakbima.lk

No comments:

Post a Comment