Saturday, March 3, 2012

ගිලන් රියේ ‘ඩිලිවරි’ කට්ටලය මළ ගෙදර ගෙනගිය බඩුවලට මාරු වෙලා

ඌව වෙල්ලස්ස සමූහ වජිර උමගිලිය
මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි රෝහලකි. මෙම රෝහලේ සේවකයකුගේ අවමංගල්‍යයකට සහභාගි වීමට සහෝදර රෝහල් සේවකයෝ උදෑසනම ලක ලෑස්ති වූයේ එදින නැවත රෝහලේ රාජකාරිය සඳහා යාමට සූදානම් වී පාරට බැස්සේ එළිය වැටීමටත් පෙරය.
මළ ගෙදර යන විට සීනි තේකොළ වැනි දෑ ගෙනයාම සිරිතකි. මෙසේ ලක ලෑස්ති කරගත් මළ ගෙදරට ගෙන යන පාර්සලය ආරක්ෂිතව තබා ගැනීමට ඔවුහු වගබලා ගත්හ.
මෙම අවස්ථාවේ දී හදිසියේම මෙම රෝහලින් රෝගියකු බදුල්ල මහ රෝහලට ගෙන යැමට සිදු විය. මේ අවස්ථාවේ දී රෝගියා සමග සේවක පිරිස ද බදුල්ල වෙත ගමන් කිරීමට පිටත් වූහ. මෙම මළ ගෙදර පිහිටියේ ද රෝගියා රෝහල වෙත ගෙනයන මාර්ගයේ ම ය. කෙමෙන් අවමඟුල් නිවෙස වෙත ළඟා වුවත් ගිලන් රියෙන් බස්වනු ලැබුවේ රෝගියාට කිසිදු හැරිහැරයක් නොවන අයුරිනි.
මළ ගෙදරට ගෙනා පාර්සල් ද රැගෙන හැකි ඉක්මනින් බැසගත් සැවොම ගිලන් රථයෙන් බැසගත් පිරිස එතැන සිටිය දී රථය සිය රාජකාරිය සඳහා පිටත් විය.
අදාළ කාර්ය නිම කර ගිලන් රථය රෝහල වෙත පැමිණ රෝහලෙන් ගෙන ගිය උපකරණ නැවත රෝහල වෙත බාරදීම නියමිත කටයුත්තක් විය. ගිලන් රථයේ ගෙන යන උපකරණ බාරව සිටි සෞඛ්‍ය සේවකයකු සියල්ල පරික්‍ෂාකර බලා ගිලන් රියේ යමක් නැතිවි ඇති බව ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය. සේවකයාට තරු පෙනිනි. ගැබිනි මව්වරුන් සඳහා භාවිතා කරන ඩිලිවරි කට්ටලය හෙවත් වෛද්‍ය උපකරණ කට්ටලය නොමැති බව ඔහුට වැටහිණි.
මේ බව සේවකයා වහාම රියදුරාට පැවසීය. රියදුරු පැමිණ ගිලන් රථය පරීක්‍ෂා කළේ ය. උපකරණ කට්ටලය එහි නොමැත. රියදුරාට කාරණය වැටහිණි. මළ ගෙදරට ගෙන ගිය පාර්සලය මාරුවී ඇති බව ඔහුට එසැනින් සිහි විය. රියදුරු හැකි ඉක්මනින් මළ ගෙදර බලා පිටත් වූයේ පාර්සලයේ මාරුව ඇරගැනීමට ය. ඒ වන විට සියල්ල අත තිබූ පාර්සල් මළ ගෙදර ඥාතීන්ට බාරදී අවසන් වී තිබිණි.
රියදුරු මහතා අදාළ කාරණය රෝහලේ පිරිසට පැහැදිලි කළේය. එවිට සියල්ල සිදුවී හමාර වූ බැවින් මළ ගෙදර ගිය පිරිස ගෙතුළට ගොස් සිද්ධිය මළ ගෙදර පිරිසට පැහැදිලි කර පාර්සල් තොගය පිරික්සීමට සැරසුනහ. එහි දී ඒ අතර තිබී මෙම වෛද්‍ය කට්ටලය සොයා ගත්හ.

dinamina 2012.03.03

No comments:

Post a Comment