Tuesday, March 13, 2012

පර්යේෂණ ඒකකයක් ලෙස නම් කළත් අනුරාධපුර වකුගඩු ඒකකයේ කිසිදු පර්යේෂණයක් කෙරෙන්නේ නෑ - වෛද්‍ය සුසිල් රණසිංහ

2012 මාර්තු 14 වෙනි බදාදා, 00:02

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

උතුරු මැද පළාතේ වකුගඩු රෝගය ගැන දැනුම්වත් කිරීම


උතුරුමැද පළාතේ පමණක් දළ වශයෙන් වකුගඩු රෝගය වැළඳුණු රෝගීන් 18000ක් පමණ හමුවී ඇති බවත් ඉන් 6000ක් පමණ මියගොස් ඇති බවට සැලකෙන බව වකුගඩු ව්‍යසනයෙන් ජීවිත මුදවා ගැනීමේ ජනතා ව්‍යාපාරයේ සාමාජිකයකු වන අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍ය නිලධාරී සුසිල් රණසිංහ මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැනට පවත්නා තත්ත්වය පැහැදිලි කරමින් අනුරාධපුර වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් කතා කළ වෛද්‍ය සුසිල් රණසිංහ මහතා,“වකුගඩු රෝගය සඳහා නිශ්චිත හේතු කාරකයක් සෙවීම සඳහා පර්යේෂණ කරන්නේ පෞද්ගලික පරයේෂණයක් සඳහා රුචිකත්වයක් දක්වන කිහිප දෙනෙක් පමණයි. පර්යේෂකයන් දිරි ගැන්වීම ඔවුන් වෙත යටිතල පහසුකම් සැපයීම හෝ මේ සඳහා දායක කර ගත හැකි දැනුම සහිත විද්වතුන් හා පුද්ගලයන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේ වන තුරු ක්‍රියාත්මක කර නෑ. අඩුම තරමින් 2008 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දින වකවානු සහිතව තනා දුන් පර්යේෂණ වැඩ පිළිවෙළවත් ක්‍රියාත්මක කරන්නට බලධාරීන් සමත් වී නෑ. අනුරාධපුර වකුගඩු ඒකකය පර්යේෂණ ඒකකයක් ලෙස නම් කර තිබුණත් එහි කිසිදු පර්යේෂණයක් සිදු නොවන බව වෛද්‍යතුමන් පෙන්වා දුන්නේය.
“දැනට වසර 10කට පෙර පදවිය කැබිතිගොල්ලෑවේ සහ මැදවච්චිය යන ප්‍රදේශවලින් රෝගීන් හඳුනා-ගැනීමත් සමගම මාරාන්තික වකුගඩු රෝගයක් උතුරු මැද පළාතේ ව්‍යාප්ත වන බව තහවුරු කර ගත්තා. එතැන් පටන් මෙම රෝගය ශීඝ්‍ර ලෙස රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වුණා. මේ වන විට මහියංගණය බදුල්ල ආදී දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වනවා. පදවිය කැබිතිගොල්ලෑව යන ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගෙන් 1/4 කට මෙම රෝගය වැළඳුණු ගම් දන්නට ලැබෙනවා. තවමත් ස්ථිර හේතුවක් ඊට නිසි ප්‍රතිකාරයක් සොයා නොගැනීම නිසා මෙය ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය තර්ජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

විවිධ පර්යේෂකයින් කරනු ලැබූ පර්යේෂණවලට අනුව රෝග සඳහා හේතු කාරකයක් වී ඇත්තේ පානීය ජලය බව සඳහන් වෙනවා. ඒ හේතුවෙන් කළ යුතුව තිබෙන්නේ නිශ්චිත හේතුවක් සොයා ගන්නා තුරු තර්ජිත ප්‍රදේශවලට සුරක්ෂිත පානීය ජලය සැපයීමයි. මේ වන තුරුත් රෝගයට ගෙදුරු විය හැකි කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා භාවිත කරන්නේ නුසුදුසු යැයි කියනා පානීය ජලයයි.

කැබිතිගොල්ලෑව ආශ්‍රිතව ලංකාවේ ඇති අනර්ඝතම ජල උල්පත් වන සිංහයා උල්පත ආඩියා උල්පත වැනි පානීය ජල උල්පත් තිබුණත් ප්‍රදේශයේ බලධාරීන් ජල ව්‍යාපෘතියක් සකස් කිරීමට මේ වන තුරුත් අ‍පොහොසත්ව තිබෙනවා. නමුත් අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෝතල් කළ පානීය ජලය සඳහා හොඳ වෙළෙඳ ‍පොළක් බටව පත්ව තිබෙනවා. ජලය විකුණන සමාගම් 50ක් පමණ වෙළෙඳාම් කටයුතුවල නිතර වෙනවා. කනගාටුවට කරුණ නම් ළදරුවන්ට කිරිපිට ලබා දීමට මාසයකට යන වියදමට වඩා පානීය බෝතල් ජලය ලබා ගැනීමට ප්‍රදේශයේ ජනතාව විශාල මුදලක් වැය කරනවා. අඩුම තරමින් රෝගයෙන් අසාධ්‍ය වූ අසරණයන්ට ප්‍රතිකාර සේවා නගා සිටු වීමටවත් බලධාරීන්ට වුවමනාවක් නැති බව හොඳින්ම පෙනී යනවා. රෝගයේ අවසන් අවදියේ රොගීන් 2500ක් 3000ක් පමණ සිටියත් ‍ලේ පිරිසිදු කිරීම (ඩයිලයිසිස්) සිදුවන්නේ රෝගීන් 150කට ආසන්න පිරිසකගේ පමණක් බවද වෛද්‍යවරයා පැවැසීය.

කිලෝ මීටර් 100ක් පමණ ඈතින් පිහිටි පදවිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව දින 03 04 කට වතාවක් වත් අනුරාධපුරයට පැමිණිය යුතුයි ‍ලේ පිරිසිදු කර ගැනීමට. නමුත් එය කර ගැනීම කොතරම් අපහසුද ? අවශ්‍ය උපකරණ නොමැති වූ විට රුපියල් 3000ක් 4000ක් අතර මුදලක් ගෙවා දවස් 03 04 කට වරක් උපකරණ මිලදී ගත හැකි දැයි වෛද්‍යතුමන් ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම ගොවිතැනේ යෙදෙන වැඩි දෙනෙකුට මෙම රෝගය වැළඳී ඇති අතර පියා රෝගයට ගොදුරු වූ පසු පවු‍ලේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජීවිත අඳුරට වැටෙන බවද වෛද්‍යතුමන් පැවැසීය.

වකුගඩු ව්‍යසනයෙන් ජීවිත මුදවා ගැනීමට නම් පස්වැදෑරුම් වැඩපිළිවෙළක් තිබිය යුතු බව අප සංගමය තරයේ විශ්වාස කරන බව ද වෛද්‍යතුමන් පැවැසූ අතර වකුගඩු ව්‍යසනයෙන් ජීවිත මුදලා ගැනීමට නම් නිශ්චිත හේතුවක් හේතුකාරකයක් සෙවීම, නිශ්චිත හේතුව හේතු කාරකය සොයා ගන්නා තෙක් තර්ජිත ප්‍රදේශවලට සුරක්ෂිත පානීය ජලය සැපයීම මූලික අවස්ථාවේදී රෝගීන් හඳුනාගැනීම සඳහා වැඩසටහන් (ඉජපඥඥදඪදඨ) රෝගය වැළඳුණු පුද්ගලයින්ට ප්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය හා රෝහල් පහසුකම් සැපයීම හා රෝගීන්ගේ පවුල් සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව එම පස් වැදෑරුම් වැඩපිළිවෙළයි.

දැනට වකුගඩු මාරයාට ගොදුරුව සිටින වැඩිහිටි පරම්පරාව කෙසේ වෙතත් හෙටක් සහිත අපේ මල් කැකුළුවන් දුවා දරුවන් මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම අප කාගේත් යුතුකම බවත් වගකිව යුතු බලධාරීන් දැන්වත් ඇස් ඇර බැලිය යුතු බව වෛද්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අස්ථාවට මැදවච්චිය අගුනොච්චිය නිගේ‍රා්ධාරාමයේ විහාරාධිපති කුමාර කස්සප හිමියන් හා පහළ හල්මිල්ලෑව දුටුගැමුණු විදුහ‍ලේ විදුහල්පති ආර.පී. කරුණාරත්න බණ්ඩාර වෛද්‍ය සිසුන් වන ප්‍රදීප් නන්ද දාස පී.පී. ලසන්ත ගුරුගේ යන මහත්වරුන් ද එක්වූහ.

lakbima.lk

No comments:

Post a Comment