Wednesday, February 22, 2012

වෛද්‍ය සංගමයෙන් අධ්‍යාපන ඇමතිට චෝදනා

2012 පෙබරවාරි 22 වෙනි බදාදා, 09:22 SRI LANKA MIRROR EDITOR


Srilankamirror - වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසල්වලට ඇතුළු කිරීමේ දී ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොළඹ දී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසිය.

රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේදී පවතින ප්‍රමාදය මත කලකිරී ගත වූ සති 4 ක කාලය තුළදී රජයේ වෛද්‍යවරු 4 දෙනකු සිය රැකියාව අතහැර විදෙස්‌ගත වී ඇතැයි ඔහු එහිදී සදහන් කළේය.

අත්‍යවශ්‍ය සේවාවන් සලසන රජයේ සේවකයන් පිරිසක්‌ මෙන්ම වෘත්තීයවේදීන්ද පිරිසක්‌ද වන රජයේ වෛද්‍යවරු වසර හතරක සේවා කාලයකින් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලට අනුයුක්‌ත කිරීමේදී ඔවුන්ගේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමේ ගැටලු මතුව ඇතැයි පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසර හතරකට වරක්‌ ස්‌ථාන මාරුවීම් ලබන වෛද්‍යවරුන්ට පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනයේ සඳහන් ආකාරයෙන් පාසල් අසළ වසර පහක පදිංචිය පෙන්නුම් කිරීමේ හැකියාවක්‌ නැතැයි අවධාරණය කර සිටී.

මෙම තත්ත්වය මත රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට මාස ගණනක්‌ පාසලක්‌ නොමැතිව කල් මැරීමට සිදුව ඇතැයිද එම නිසා විදේශීය රටවල විශේෂඥ පුහුණුව ලබා නැවත මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට චක්‍රලේඛයේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීමෙන් මෙරට ජනප්‍රිය පාසල් ලබාගත නොහැකි වී ඇතැයි ද සංගමය වැඩිදුරටත් කියයි.
2005 වසරේදී එවකට පැවැති රජය විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දෙමින් එම වෛද්‍යවරුන් මෙරටම රඳවා ගැනීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ බවත් එවැන්නක්‌ පිළිබඳව වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා හා බලධාරීන් දක්‌වන අල්ප උනන්දුව පිළිබඳව කනගාටු වන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී

No comments:

Post a Comment