Wednesday, February 29, 2012

ඩෙංගු මර්දනයට ජනතා සහයෝගය මදි

2012 පෙබරවාරි 29 වෙනි බදාදා, 00:01
.

වැසි සමය ආරම්භ වීමත් සමග දැන් නිසැකවම අසන්නට ලැබෙන තවත් පුවතක් වෙයි. එනම් ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහළ යාමයි. මෝසම් වැස්ස තරම්ම අනිවාර්ය ස්වාභාවික සිද්ධියක් බවට දැන් මේ වන විට ඩෙංගු රෝගය ද පත්ව ඇත.
ගත වූ මාස දෙක තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු රෝගීන් පිළිබඳ පුවත් වාර්තා වන්නට පටන් ගෙන තිබෙන අතර වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන ආකාරයට එම මාස දෙකක කාලය ඇතුළත මියගිය ඩෙංගු රෝගීන් ගණන 27කි. එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 6138ක් වන අතර ඉන් වැඩිම ප්‍රතිශතය වන සියයට 51.97ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.
ඩෙංගු වැනි වසංගත රෝග මේ ආකාරයේ අධිවේගයකින් පැතිර යාම සම්බන්ධයෙන් වසංගත රෝග මර්දන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිණිස පිහිටුවා ඇති ආයතන හා පත් කරනු ලැබ සිටින නිලධාරීන් යම් ප්‍රමාණයකට වගකිව යුතු බව රහසක් නොවේ. එහෙත් ඔක්කොම කුණු බේරුවල බොක්කට කිව්වා සේ ඩෙංගු රෝගය මෙසේ පැතිර යන්නට පසුබිම සකසා දීම පිළිබඳ සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරීම යුක්ති යුක්ත නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මුලින් සඳහන් කළ ආයතනවලට හා නිලධාරීන්ට පමණක් තනිව පාලනය කළ නොහැකි ඇතැම් සමාජ ක්‍රියාකාරකම් ඩෙංගු රෝගය වේගයෙන් පැතිර යන්නට අවශ්‍ය පසුබිම සැකසීම ඊට හේතුවයි.
උදාහරණයක් හැටියට නගරාශ්‍රිත ප්‍රදේශවල කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු නිසියාකාරව සිදුනොවීම පෙන්වා දෙන්නට පුළුවන. කොළඹ වැනි මහ නගරවලට පවා මෙම චෝදනාවෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නොමැති බව අසත්‍යයක් නොවේ.
බස්නාහිර පළාත ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමට වැඩියෙන්ම මුහුණ පා සිටින්නට හේතුවද මෙම කනගාටුදායක තත්ත්වය වන්නට බැරි නැත.
මෙම තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රධාන නගරවල දැකිය හැකි ‍පොදු තත්ත්වයක් බවද නොකියා නොහැකිය. ඇතැම් නගරවල නිසි පරිදි නඩත්තු නොකරන කාණු පද්ධති මදුරු තවාන් බවට පත්ව තිබෙන බව නිරන්තරව අසන්නට ලැබේ.
මේ අතර වඩාත් චෝදනාත්මක ස්වරූපයෙන් අවධාරණය කළ තවත් කරුණක් ඇත. එනම් සාමාන්‍ය ජනතාවගේ නොසැලකිල්ලයි. සමාජයේ බොහෝ සමාජිකයෝ තමන් ඩෙංගු රෝගය වේගයෙන් පැතිරයාම බඳු අවදානමකට මුහුණ පා සිටින බවක් නොදන්නා අයුරින් කටයුතු කරති.
ඇත්තටම සමාජයේ තනි තනි පුද්ගලයන් ඒ පිළිබඳ දැනුම්වත් මැදිහත්වීමකින් කටයුතු කරන්නේ නම් තම තම නිවෙස් අවට මදුරුවන් බෝ වන බොහෝ ස්ථාන තුරන් කර දමන්නට බැරි කමක් නැත.
දැන් සිදු වන්නේ එබඳු දැනුම්වත් බවකින් ඔවුන් කටයුතු නොකිරීම පමණක් නොවේ. ඉවක් බවක් නොමැතිව කටයුතු කිරීම මගින් මදුරුවන් බෝවන්නට අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීමය.
මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා හඳුන්වාදී ඇති ක්‍රියාකාරකම් සමාජයේ වැඩිපිරිසක් අතින් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන සැටියක් පෙනෙන්නට නැත. මදුරුවන් බෝවීම වළක්වා ගන්නට අපහසු උවදුරක් බවට පත්වන්නට එම තත්ත්වය බොහෝ සේ බලපා තිබේ.
පිහිටුවා ඇති ආයතනවලට හා පත්කර සිටින නිලධාරීන්ට මදුරු මර්දන කටයුතු සාර්ථකව කර ගන්නට අවස්ථාව සැලසෙනුයේ ‍පොදු ජනතාවද තම නොමසුරු සහයෝගය ඔවුනට ලබා දුනහොත් පමණක් බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.

lakbima.lk

No comments:

Post a Comment